කොළඹ කසළ විදුලි බලය බවට පත් කරන බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා ඉදිරි ජූලි 15 වන දා සිට දින 45ක කාලයක් එය වසා දැමීමට නියමිත බව කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කරයි. මෙම කාලසීමාව තුළ කොළඹ නගරයේ කසළ එකතු කිරීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විකල්ප පියවර ගෙන ඇති බව නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා සහතික කරයි.
මෙම බලාගාරය දිනකට කොළඹ මහ නගර සභාවෙන් එකතු කරන කසළ ටොන් 600ක් පමණ සැකසීමට සැලසුම් කර තිබුණද, දැනට දිනකට ලැබෙන්නේ ටොන් 450ක පමණ ප්‍රමාණයකි. බලාගාරය වසා පවතින දින 45 තුළ නගරයේ එකතු වන කසළ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය භූමියේ බැහැර කිරීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, ‘ඩිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් එම භූමියේ කසළ ගොඩගැසී ඇති බැවින් අවකාශය සීමිත වී තිබීම ගැටලුවක් වී ඇති අතර, ඒ සඳහා ඉඩකඩ වැඩි කර ගැනීමට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව නියෝජ්‍ය නගරාධිපතිවරයා පැවසීය.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක රිසා සාරුක් මහතා පෙන්වා දෙන්නේ, නඩත්තු කටයුතුවලට අමතරව බලාගාරයේ පවතින කාර්මික දෝෂ සහ කසළ ප්‍රවාහන රථ හිඟය හේතුවෙන් කසළ එකතු කිරීමේ ගැටලු පවතින බවයි. විශේෂයෙන්ම දැනට අලුත්වැඩියාවට යොමුකර ඇති කසළ සම්පීඩන රථ වෙනුවට, කසළ එකතු කිරීම නියමිත වේලාවට සිදුකිරීම සඳහා රථ කුලියට ගැනීමට හෝ තාවකාලිකව බඳවා ගැනීමට පියවර ගන්නා ලෙස ඔහු යෝජනා කරයි.
කසළ බලාගාරය වසා පවතින කාලය තුළ දිනකට ටොන් 500ක් දක්වා කසළ බැහැර කළ හැකි තාවකාලික ස්ථානයක් වෙන් කිරීමට රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවත්, එමඟින් ක්ෂණික ගැටලුව විසඳෙනු ඇතැත් ප්‍රවාහන රථ හිඟය පිළිබඳ ගැටලුව තවමත් පවතින බවත් සාරුක් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















