කොළඹ වරායේ කලාපීය නාවික මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත වීම ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) දෙවන අදියරේ ධාරිතා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ නව දොඹකර විශේෂයක් වරායට සේන්දු විය. ඒ අනුව, නැව්වල සිට ගොඩබිමට භාණ්ඩ උසුලන විදුලි දොඹකර දෙකක් සහ රේල් මවුන්ටඩ් ගැන්ටි දොඹකර හතක් (cantilever rail-mounted gantry cranes) ලබා ගැනීමට පර්යන්තය කටයුතු කර ඇත.
මෙම නව දොඹකර කලාපයේ උසම දොඹකර වන අතර, ඒවා පර්යන්තයේ භාණ්ඩ හැසිරවීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට, ධාරිතාව වැඩි කිරීමට සහ විදුලියෙන් ක්‍රියාත්මක වන උපකරණ භාවිතය තුළින් වඩාත් තිරසාර වරාය මෙහෙයුම් සඳහා දායක වනු ඇත. CWIT මෙහෙයුම් ආරම්භ කර වසරක් ගතවූ පසු, සිය පළමු වසරේදීම ටී.ඊ.යූ. (TEU) මිලියනයක භාණ්ඩ ප්‍රමාණයක් හැසිරවීමට සමත්වීම කැපී පෙනේ.
මෙම ව්‍යාපෘතිය අදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉක්නොමික් සෝන් ලිමිටඩ්, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ඇති කරගත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් වන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජනයක් සිදු කර ඇත. මීටර් 1,400ක ජැටියක් සහ මීටර් 20ක ගැඹුරකින් යුත් මෙම පර්යන්තය, වාර්ෂිකව ටී.ඊ.යූ. මිලියන 3.2ක ධාරිතාවක් හැසිරවීමට සැලසුම් කර ඇති අතර, එකවර ලොව විශාලතම බහාලුම් නෞකා තුනක් මෙහෙයුම් සඳහා ඉඩකඩ ඇත.
පර්යන්තයේ ප්‍රධාන විධායක නිලධාරී මුනිෂ් කන්වාර් මහතා පෙන්වා දුන්නේ, මෙම නව දොඹකර පැමිණීම දෙවන අදියරේ සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන සන්ධිස්ථානයක් බවයි. සැප්තැම්බර් මස අවසානය වන විට තවත් නැව්-ගොඩබිම් දොඹකර හතරක් සහ ගැන්ටි දොඹකර පහක් ලැබීමට නියමිත අතර, එමගින් පර්යන්තයේ දොඹකර සංචිතය නැව්-ගොඩබිම් දොඹකර 14ක් සහ ගැන්ටි දොඹකර 30ක් දක්වා වැඩි වනු ඇත. මෙම ආයෝජනය තුළින් කොළඹ වරායේ තරගකාරිත්වය සහ කලාපීය වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රමුඛ නාවික සහ සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමටත් මහත් රුකුලක් ලැබෙනු ඇත.
















