27 April 2024
#දේශීය

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ යෂ්ටිය අරලියගහ මන්දිරයේ දී හරසරින් පිළිගනී

එංගලන්තයේ බර්මින්හැම් නුවර දී මෙවර පැවැත්වෙන 22වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට පූර්වගාමීව ලොව පුරා රටවල් 72කට රැගෙන යන රැජිනගේ පණිවිඩය සහිත යෂ්ටිය ඊයේ (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හරසරින් පිළිගන්නා ලදි.

25 වැනි ගමනාන්තය ලෙස පසුගිය 03 වැනිදා මාලදිවයිනේ සිට මෙරටට රැගෙන ආ මෙම යෂ්ටිය පුරා දින 3ක් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීමෙන් පසු මෙලෙස අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම යෂ්ටිය පිළිගැනීම සහ එය ප්‍රදර්ශනය කිරීමේ සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සඳහා නිල වශයෙන් භාර කර තිබිණි.

ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ලබන ජුලි 28 වැනිදා බර්මින්හැම් නුවර ආරම්භවන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ නිල සංකේත හා යෂ්ටිය තුළින් නිරූපිත අදහස් අග්‍රාමාත්‍යවරයා හමුවේ තැබීය.

අනතුරුව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට යෂ්ටිය පිළිගන්වන ලදි.

“2022 Queen’s Baton Relay” (QBR) ලෙස පැවැත්වෙන මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 07 වැනිදාය.

ශ්‍රී ලංකාවේ සිට මෙම යෂ්ටිය අද දින බංග්ලාදේශය දක්වා රැගෙන යාමට නියමිතව තිබිණි.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ අතිරේක ලේකම් ඩබ්.එම්.ටී.ඩී වික්‍රමසිංහ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ කමිටු සාමාජික යස්වන්ත් මුත්තෙට්ටුවේගම, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, ජාතික ඔලිම්පික් කමිටුවේ චන්දන ලියනගේ, නිලූ ප්‍රනාන්දු, ගාමිණි ජයසිංහ, බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ මහත්ම මහත්මීහු සහභාගී වුහ

Leave a comment

Your email address will not be published. Required fields are marked *