27 April 2024
#දේශීය

කංසා ගැන පොත් ලියු ආචාර්ය වසන්ත අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා- තුසිත බාලසූරිය

කංසා පිළිබඳ පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, ආයුර්වේදීය සහ බටහිර විද්‍යාත්මක පර්යේෂණ ඇසුරෙන් සිංහල බසින් රචනා කළ පළමු ග්‍රන්ථය වන ත්‍රෛලෝක්‍යවිජයා කෘතියෙහි කර්තෘ ආචාර්ය වසන්ත සේන වැලිඅංග මහතාව අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ තණමල්විල පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල ප්‍රදේශයේ ඔහු විසින් ඉදිකෙරෙමින් පවතින කංසා කෘතුකාගාර බිමෙහි කංසා වගා කිරීම යන චෝදනාව මත බවයි.

ආචාර්ය වසන්ත වැලිඅංග මහතා විසින් කංසාවල ඇති ප්‍රයෝජන රටට පැහැදිලි කිරීම වෙනුවෙන් අත්හදා බැලීමක් ලෙස සිදු කළ පර්යේෂණාත්මක කංසා වගාව පිළිබඳ ජනාධිපතිවරයාගේ සිට රජයේ බලධාරීන් දැනුවත් කර ඇතත් අවසානයේ එම කංසා වගාව හරහා පර්යේෂණයට භාජනය වුයේ කංසාවල ඇති ප්‍රයෝජනය නොව මෙරට යල්පැන ගිය නීතිය බවත් ශ්‍රී ලංකාවේ කංසා වගා කිරීම අපරාධ වරදක් බව දැනගෙනත් ඔහු මෙම ව්‍යාපෘතියට අතගසා ඇත්තේ රජයේ පුර්ණ අනුදැනුම සහිත බව බාලසුරිය මහතා යොමු කල ලිපියෙහි සදහන්ව ඇත.

ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය මහතා මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ ” වරක් ජනාධිපතිවරයා ගමින් ගමට ගොස් ජනතා ගැටලු විමසන අවස්ථාවේ ආචාර්ය වසන්ත සේන වැලිඅංගයන් කංසාවල ඇති වැදගත්කම පහදා දුන් අතර අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණ ගැසී පැය ගණනාවක් සාකච්ඡා කර කංසාවල ආර්ථික වටිනාකම පහදා දී ඇත. ඊට අමතරව රජයේ මැති ඇමතිවරුන්ටද අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත. මෙයින් පෙනී යන්නේ ඔහුට මෙම පර්යේෂණාත්මක කංසා වගාව අප්‍රසිද්ධියේ කිරීමට උවමනාවක් නොතිබුණු බවයි.

නමුත් පවත්නා නීති වෙනස් නොකර දේශපාලකයන්ගේ කටවචනය විශ්වාස කිරීම නිසාවෙන් ආචාර්ය වසන්ත වැලිඅංග මහතාව අත්අඩංගුවට ගෙන ඇත. අඩුම තරමින් කංසා අපරාධ නීතියෙන් ඉවත් කර සිවිල් නීතිය යටතට නොගෙන කංසා වගාවට ඔහුට නොනිල අවසරයක් ලබා දුන් පාලකයින් සිදුකර ඇත්තේ ඔහුගේ කීර්තිය මෙන්ම ජීවිතයත් අනතුරක දැමීමයි. කංසා වගාවෙන් රටට ප්‍රතිලාභ ලැබෙන්නේ කංසා වගාව තහනම් කර ඇති නීති සංශෝධනය කර නිල අවසරයක් සහිතව වගාව ආරම්භ කිරීමෙන් පමණි.

ලෝකය පුරාම කංසා වගා කිරීමට අවසර දීම සිදුවන්නේ රජය හෝ පුද්ගලික හවුල්කාරිත්වය මත පිහිටුවන කංසා නියාමන අධිකාරියක් ඔස්සේ ය. ඊට නිශ්චිත බලපත්‍ර ක්‍රමයක් හා බදු ප්‍රතිපත්තියක් ඇත. එමගින් කංසා වගාව පමණක් නොව කංසා භාවිතය හා අවභාවිතය යන දෙකම නියාමනය වෙයි. එහිදී කංසා භාවිතා කිරීමට හැකි වයස් කාණ්ඩය, සාධාරණ මිලකට කංසා බෙදා හැරීම වැනි කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු කළ යුතුය. එවැනි නියාමන ක්‍රියාවලියක් නොමැතිව පුද්ගලික මට්ටමින් කංසා නීතිගත වීමම අනතුරකි.

පළමු අදියරවලදී කංසා වගාව රජයේ දැඩි නියාමනය යටතේ සිදුවිය යුතු බව ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රතිපත්තියයි. ඊට අදාළ නීති සංශෝධනය කර නිසි ක්‍රියාවලියක් නිර්මාණය කළහොත් මෙරටට විදෙස් ආයෝජන පවා ලබාගත හැකිය. දෙවන අදියරවලදී පුද්ගලික අංශයේ දායකත්වය ලබාගත හැකි අතර එමඟින් රටට නව රැකියා අවස්ථා බිහි වනු ඇත. තෙවන අදියරවලදී ජනතාවගේ කංසා නිදහස තහවුරු කිරීමට හැකිය. අවසානයට කළ යුතු දේ මුලින් කිරීමට යාමෙන් සිදුවන්නේ කංසා තහනම නැවත තහවුරු වීමයි.

 

තුසිත බාලසූරිය
ලේකම්
ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

2021 ඔක්තෝබර් මස 21 වනදා

Leave a comment

Your email address will not be published. Required fields are marked *