කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ කික්විට් සිට කින්ෂාසා බලා පියාසර කරමින් තිබූ කුඩා ගුවන් යානයක් කෙන්ගෙ ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට හමුදාව පවසයි. මියගිය පිරිස අතර කොංගෝ හමුදා අධිකරණයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ජෝසෆ් මුටොම්බෝ කටාලයි ටියෙන්ඩේ සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ලුෂියන්-රෙනේ ලිකුලියා බකුමි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා ද සිටිති.
කික්විට් සිට කින්ෂාසා දක්වා ගමන් කරමින් තිබූ යානය කෙන්ගෙ නගරය ආසන්නයේදී ගැටලුවකට මුහුණ දී ඇති අතර, හදිසි ගොඩබෑමක් සඳහා ස්ථානයක් සොයමින් කිහිපවරක් ප්‍රදේශය හරහා පියාසර කිරීමෙන් අනතුරුව යානය කඩා වැටී ඇති බව ප්‍රාදේශීය බලධාරීන් සඳහන් කර තිබේ. අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ කොංගෝවේ නැගෙනහිර ප්‍රදේශයේ සන්නද්ධ ගැටුම් පවතින පසුබිමකදීය. රුවන්ඩා සහාය ලබන බවට කොංගෝ රජය චෝදනා කරන M23 ඇතුළු සන්නද්ධ කණ්ඩායම් සමඟ එරට හමුදාව ගැටුම්වල නිරතව සිටින අතර, අනතුරට ලක්වූ යානයේ සිටි හමුදා නිලධාරීන් කික්විට් ප්‍රදේශයේ රාජකාරි මෙහෙයුමකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි බව වාර්තා වේ.
















