“නැඟෙනහිර මහා වෙසක් තොරණ” ලෙස විරුදාවලිය ලත්, ත්‍රිකුණාමලය එළවළු වෙළෙඳ සංගමයේ වෙසක් උත්සව සමිතිය මඟින් වාර්ෂිකව ප්‍රදර්ශනය කෙරෙන වෙසක් තොරණේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ විය. ඒ අනුව ඊයේ (11) පෙරවරු 08.01ට යෙදුණු සුබ මොහොතින් නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කප් සිටුවීමේ මංගල්‍යය සිදුකෙරිණි.
මෙවර 44 වැනි වරටත් සංවිධානය කෙරෙන මෙම වෙසක් තොරණ මැයි මස 30 වැනිදා සිට ජුනි මස 04 වැනිදා දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබේ. මෙවර තොරණින් “ඡත්ත මානවක” ජාතක කතා වස්තුව පිළිබිඹු වන අතර එහි සිතුවම් නිර්මාණය එම්.ඩී. සමන් උදේසිරි මහතා විසින් ද, විදුලි ආලෝකකරණය පී.එම්. අසිත සුදර්ශන මහතා විසින් ද සිදු කරනු ලබයි.
මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ පැවැති මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා, නගරාධිපති කේ. සෙල්වරාජා මහතා සහ හිටපු පළාත් සභා ඇමැතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ත්‍රිකුණාමලයේ වෙසක් අසිරිය විඳගන්නට එන බැතිමතුන් වෙනුවෙන් සියලු කටයුතු සූදානම් බව වෙසක් උත්සව සමිතියේ සභාපති පී.ඩබ්ලිව්. සුසන්ත ජයලත් මහතා ප්‍රකාශ කළේය.














