සමූපකාර සමිතිවලට අයත් ඉන්ධන පිරවුම්හල්වල මතු වී ඇති විවිධ ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බලශක්ති අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී සමූපකාර ඉන්ධන පිරවුම්හල් ජාලය මුහුණ දී ඇති අභියෝග රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමේදී අනුගමනය කරන වට්ටම් ක්‍රමවේද සහ ණය පදනම මත ඉන්ධන ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව පවතින ගැටලු මෙන්ම, බොහෝ ඉන්ධන පිරවුම්හල් පිහිටි ඉඩම්වල හිමිකාරීත්වය සම්බන්ධයෙන් පවතින නීතිමය සහ පරිපාලනමය ගැටලු විසඳා ගැනීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය. මීට අමතරව, අබලන් වී ඇති පිරවුම්හල් අලුත්වැඩියා කිරීම සහ අවශ්‍ය නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීම සඳහා පවතින බාධක මඟහරවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා, කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා ඇතුළු අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන්, සමූපකාර සමිති සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
දිවයින පුරා විසිරී පවතින සමූපකාර ඉන්ධන පිරවුම්හල් හරහා සාමාන්‍ය ජනතාවට සහ ගොවි ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන සේවා ලබාදීම සහතික කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී තිබේ.
















