දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කරමින් පාරිභෝගිකයාට සහනදායී මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය (COOPFED), ලංකා සීනි සමාගම සහ BCC ලංකා සමාගම සමඟ විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබා ඇත.මෙම නව වැඩපිළිවෙළ යටතේ ලංකා සීනි සමාගමෙන් මසකට දුඹුරු සීනි ටොන් 1,000ක්ද, BCC ලංකා සමාගමෙන් ඇසුරම් කරන ලද පොල්තෙල් ලීටර් 20,000ක් මෙන්ම සබන් ඇතුළු අනෙකුත් නිෂ්පාදනද සමුපකාර ජාලය වෙත ලබා ගැනීමට නියමිතය. මෙම නිෂ්පාදන පාරිභෝගික සමුපකාර 75ක නියෝජිතයින් හරහා තවත් ප්‍රාදේශීය වෙළඳසැල් 3,500ක් දක්වා විහිදී යන පුළුල් බෙදාහැරීමේ ජාලයක් ඔස්සේ ජනතාව වෙත ළඟා කිරීමට නියමිත අතර, අතරමැදියන් ඉවත් කරමින් වෙළඳපොළේ මිල පාලනය කිරීමට හා “මිල තීරකයා” ලෙස කටයුතු කිරීමට මෙමඟින් අපේක්ෂා කෙරේ.2029 වසර වන විට ප්‍රාදේශීය වෙළඳසැල් 3,500 සිට 10,000 දක්වා වැඩි කරගැනීමේ ඉලක්කය සහිතව සංගමය කටයුතු කරමින් සිටින අතර, දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් සහ වෙළඳපොළ ඒකාධිකාරය බිඳ හෙළමින් ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.














