විශ්වවිද්‍යාලය පාලනය කිරීමේදී තමන් විසින් සිදුකර තිබෙන වැරදි, අතපසුකිරීම් සහ ”ගොන්කම්” පිළිබඳව අවබෝධ කර ගැනීමට ”හෝම්වර්ක්” කරන මෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත්ට උපදෙස් දී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳ කෝප් සමාලෝචන රැස්වීම පසුගිය 19 වන දින පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවැති අවස්ථාවේ සභාපතිවරයා විසින් මෙසේ උපදෙස් ලබාදී ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්යසාධනය සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළකරමිනි.
පසුගිය අගෝස්තු 05 වන දින පැවැති සමාලෝචනය පැය 03 ක් පුරා පැවැති බවත්, එකී රැස්වීමට අදාළ වීඩියෝ පටය මේසයක වාඩිවී, වරක්, දෙවරක්, නොව තුන් හතර වාරයක් නරඹමින් කියා ඇති කරුණු අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතු බව සභාපතිවරයා අවධාරණය කර තිබේ. එහිදී පළමුවර කිසිවක් නොතේරුණද, දෙවැනි වර නැරඹීමේදී තමන් සිදුකර ඇති වැරදි සහ අත්වැරදීම් පෙනෙනු ඇති බවත්, තෙවැනි වර නැරඹීමේදී අදාළ පරිපාලන තීරණ සම්බන්ධයෙන් සිදුකර තිබෙන ගොන්කම් උපකුලපතිවරයාට අවබෝධ වනු ඇති බවත් සභාපතිවරයා විසින් පැහැදිලි කරදී ඇත.
මෙහිදී කොළයක් සහ පෑනක් රැගෙන එක් එක් පරිපාලනමය අර්බුද සම්බන්ධයෙන් වන කාල රාමුව සටහන් කරන ලෙසත්, එහිදී ඉතා පැහැදිලිව අදාළ කාල සීමාවන්වල සිදුකළ යුතුවූ කටයුතු සහ සිදු නොකළයුතුවූ කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තමන්ටම ලැබෙනු ඇති බවද වෛද්‍ය සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම උපදෙස විහිළුවක් ලෙස සැලකූ උපකුලපති මධුජිත් එය සැහැල්ලුවට ගෙන සිය සුපුරුදු “මෝඩ සිනාව” දැක්වූ අවස්ථාවේදී කෝප් සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙය විහිළුවක් නොවන බවත් තමන් එය ප්‍රකාශ කරන ලද්දේ බැරෑරුම්ව සහ ප්‍රායෝගිකව සිතා වන බවත්ය. ඔහු එය කියා සිටියේ ”උපකුලපතිතුමා විහිළුවට ගන්න එපා මම ඒක කිව්වෙ සීරියස්ලි” යනුවෙනි.
උපකුලපති මධුජිත්ට නොතේරුණද, කෝප් කමිටු සභාපතිවරයා විසින් සිදුකරන්නට උපදෙස් දුන් අභ්‍යාසය, කළමනාකරණයේ සහ මනෝ උපදේශනයේ බහුල ලෙස භාවිත වන, ඉහළ ප්රතිඵලදායී ක්‍රමවේදයක් බව කළමනාකරණ විශේෂඥයන් පෙන්වා දෙනු ලබයි.
















