පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට 2015 සිට 2022 දක්වා කාලය තුළ සේවය ලබාගැනීමෙන් තොරව ගෙවා ඇති රුපියල් ලක්ෂ 56කට ආසන්න නිෂ්කාර්ය ගෙවීමට අදාළව, එකී ගෙවීම සිදුකළ පුද්ගලයන්ට එරෙහිව අල්ලස් කොමිසම මගින් විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බව ඊයේ (05) පැවැති කෝප් කමිටු සමාලෝචන රැස්වීමේදී එහි සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.
එහිදී හෙළිදරව් වූ කරුණු අනුව සිදුවීම මෙසේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා 2015 වසරේදී සේවයෙන් ඉවත් කර ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකට අනුව 2022.01.01 දින සිට ඔහුව නැවත සේවයේ පිහිටුවා ඇත. එකී සේවයේ පිහිටුවීමට අනුව අදාළ නිලධාරියාට රුපියල් ලක්ෂ 56කට ආසන්න හිඟ වැටුප් සහ දීමනා පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් ගෙවා තිබේ.
ඒ අනුව ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා 2015 වසරේ සිට 2022 වසර දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතිකව සේවය කර නොමැති වුවද, ඔහු සේවය කළා සේ සලකා වැටුප් සහ දීමනා ගෙවා තිබීම හේතුවෙන් මහජන මුදලින් සිදුකළාවූ එකී ගෙවීම නිෂ්කාර්ය වැයක් ලෙස සැලකේ. එම නිසා එකී වැරදි සහගත තීන්දුවට වගකිවයුත්තන් වෙතින් එම මුදල් ආපසු රජයට අයකරගත යුතු වන බව විගණකාධිපතිවරයා විසින් 2023 වර්ෂයේ නිකුත් කළ විගණන වාර්තාවක් මගින් නිර්දේශ කර තිබුණි.
කෙසේ වෙතත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බලධාරීන් මෙම මුදල් ආපසු අයකර ගැනීමට කිසිදු පියවරක් ගෙන නොතිබුණි.
ඊයේ (05) පැවැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටු රැස්වීම් වාරයේදී මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීම් සිදුකෙරිණි.
මෙම කාරණයට අදාළව විචක්ෂණශීලී ලෙස කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙන්ම, වසර 11ක් තිස්සේ කිසිදු විධිමත් පරික්ෂණයක් අවසන් කිරීමට අසමත් වීම පිළිබඳවද එහිදී කෝප් කමිටු සභාපතිවරයා සිය දැඩි අසතුට පළ කිරීමට කටයුතු කළේය.














