දේශපාලන බලපෑම්, පාතාල කල්ලිවලින් එල්ල වූ තර්ජන සහ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.
කෝප් කමිටුවේදී අනාවරණය වූ පරිදි, කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කඩකාමර 113ක් සඳහා 2025 දෙසැම්බර් 31 වන විට රුපියල් මිලියන 12කට අධික හිඟ කුලී මුදලක් අයවීමට තිබේ. ඉන් කඩකාමර 2ක් රුපියල් 100කට අඩු මුදලකට ද, කඩකාමර 37ක් රුපියල් 100ත් 1,000ත් අතර කුලියකට ද ලබා දී ඇත. තවද, කඩකාමර 38ක් රුපියල් 1,000ත් 5,000ත් අතර කුලී පදනමක් මත ලබා දී ඇති අතර, කඩකාමර 52ක බදු ගිවිසුම් කාලය අවසන් වී වසර 1ත් 35ත් අතර කාලයක් ගත වී ඇත.
මෙම තත්ත්වය “මහා අපරාධයක්” සහ “ඉඩම් දන්සල් දීමක්” ලෙස ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා විවේචනය කළේය. අදාළ ගිවිසුම් වහාම සංශෝධනය කිරීමට හා යාවත්කාලීන කිරීමට උපදෙස් ලබා දී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර සාමාන්‍යාධිකාරී අජිත් නන්දන කුමාර මහතා ප්‍රකාශ කළ අතර, මෙම වංචනික ක්‍රියාවලට සම්බන්ධ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සේවය මේ වන විටත් තහනම් කර ඇති බව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අනුරාධ කිරලවැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















