බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ වරදට රත්නපුර මහාධිකරණය මඟින් වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින්, අදාළ සිරදඬුවම එලෙසම ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සසී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් විත්තිකරු ඉදිරිපත් කළ කරුණු සියල්ල අධිකරණය විසින් නිශ්ප්‍රභ කර ඇත. එහිදී විනිසුරු මඬුල්ල පෙන්වා දී ඇත්තේ වින්දිත දැරිය ලබාදුන් සාක්ෂි ස්ථාවර මෙන්ම විශ්වාසදායක බැවින් මහාධිකරණයේ නිගමනයට මැදිහත් වීමට කිසිදු පදනමක් නොමැති බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 365B(2)(b) වගන්තිය යටතේ, මීලවිටිය ප්‍රදේශයේදී 2015 ජනවාරි මස 7 වනදා හෝ ඒ ආසන්න දිනකදී මෙම බරපතල ලිංගික අපයෝජනය සිදුකිරීම සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය හමුවේ මෙම විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු වූ ඔහුට වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඬුවම්වලට අමතරව රුපියල් 10,000 ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් 150,000 ක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර තිබුණි. අධිකරණයේදී අනාවරණය වූ සාක්ෂිවලට අනුව, වින්දිත දැරියගේ මව්පියන් වෙන්ව ජීවත් වී ඇති අතර මව සිය දරුවන් ජීවත් කරවීම සඳහා නිවස ඉදිරිපිට පිහිටි වැඩපළක රැකියාවක නිරතව ඇත. අසල්වැසියෙකු වූ විත්තිකරු මෙම නිවස සමඟ නිරන්තර සබැඳියාවක් පවත්වාගෙන ගොස් තිබේ.
සිද්ධිය වූ දිනයේ දැරිය සහ ඇයගේ බාල සහෝදරිය නිවසේ රැඳී සිට ඇති අතර මව රැකියාව සඳහා ගොස් තිබේ. එම අවස්ථාවේ නිවසට පැමිණි විත්තිකරු, බාල දරුවාට පැණිරස කෑම ලබා දී ඇයව වත්තට සෙල්ලම් කිරීමට පිටත් කර හැරීමෙන් අනතුරුව මෙම බාලවයස්කාර දැරිය අපයෝජනයට ලක් කර ඇති බව අධිකරණයේදී සනාථ විය. අභියාචනාධිකරණයේ මෙම නව තීන්දුවත් සමඟ රත්නපුර මහාධිකරණය විසින් පනවන ලද වැරදිකරු කිරීමේ තීන්දුව සහ දඬුවම තවදුරටත් නොවෙනස්ව බලපැවැත්වේ. මෙම නඩු විභාගය වෙනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ශානක විජේසිංහ මහතා පෙනී සිටියේය.














