ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් සඳහා ඇමරිකානු ඩොලර් 286ක අධික මිලක් ගෙවා ඇති බවට සමාජ මාධ්‍ය සහ විවිධ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. අද (අප්‍රේල් 16) දින නිකුත් කළ මෙම නිවේදනය මගින් සංස්ථාව පෙන්වා දෙන්නේ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසුව ලංකාවට පැමිණෙන පළමු බොරතෙල් නැව හෙට (අප්‍රේල් 17) දින මෙරටට ළඟා වීමට නියමිත බවයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇණවුම් කරන ලද කිසිදු බොරතෙල් තොගයක් සඳහා බැරලයකට ඩොලර් 286ක මිලක් ගෙවීමට පොරොන්දු වී හෝ ගෙවා නොමැති බව එහි පැහැදිලිව සඳහන් වේ.
සංස්ථාව පවසන පරිදි, මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව මෙරටට පැමිණෙන බොරතෙල් නැව් හතර සඳහා ගෙවීමට එකඟ වී ඇති මිල ගණන් වන්නේ බැරලයකට ඇමරිකානු ඩොලර් 71.99, 111.62, 71.81 සහ 113.29 යන අගයන්ය. මෙම මිල ගණන් වත්මන් ලෝක වෙළඳපොළ මිලට සාපේක්ෂව ඉතා වාසිදායක මට්ටමක පවතින බවත්, අනෙකුත් තරගකාරී සමාගම්වලට වඩා සාධනීය තත්ත්වයක් උදාකර ගැනීමට සංස්ථාව සමත්ව ඇති බවත් එම නිවේදනයේ දැක්වේ. මෙවැනි අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීම මගින් ජන සමාජය නොසන්සුන් කිරීමට සහ සංස්ථාවේ කීර්තිනාමයට හානි කිරීමට උත්සාහ කරන පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියි.














