මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතුණද, ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඉදිරි මාස තුන සඳහා රුපියල් බිලියන 57ක දැවැන්ත ඉන්ධන සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ තොග පර්යන්ත සමාගමේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි. මෙම සහන වැඩපිළිවෙළ යටතේ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් ජනතාවට හිමි වේ.
පවතින තත්ත්වය අනුව ඩීසල් ලීටරයක් ගෙන්වා බෙදා හැරීමට රුපියල් 750ක පමණ පිරිවැයක් දැරීමට සිදු වුවද, වර්තමානයේ එය රුපියල් 392කට අලෙවි කරන බැවින් ලීටරයකින් රුපියල් 358ක පාඩුවක් සංස්ථාවට සිදුවන බව සභාපතිවරයා පෙන්වා දෙයි. පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 522ක් වැය වී ඇති අතර, මැයි මාසයේදී එය ඩොලර් මිලියන 324ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ. ඉන්ධන සඳහා වැයවන විදේශ විනිමය ඩොලරයේ අගයට සෘජුවම බලපාන බැවින්, ඩොලරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉන්ධන පරිභෝජනය හැකිතාක් සීමා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, පිරිපහදු කටයුතු අඛණ්ඩව සිදුවන බැවින් එළඹෙන අගෝස්තු මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග සුරක්ෂිත කර ඇති අතර, හදිසි තත්ත්වයක් මතු නොවන්නේ නම් වසරේ ඉදිරි කාලය පුරාම අඛණ්ඩව ඉන්ධන සැපයිය හැකි බව ද ඔහු සහතික කළේය.
ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ ඉන්ධන බෙදා හැරීමේදී දැනට පවතින ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ළඟදීම ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි. නමුත්, QR කේත ක්‍රමය (QR System) තවදුරටත් දිගටම පවත්වාගෙන යන අතර, එය මුදල් භාවිතයෙන් තොර (Cashless) ඔන්ලයින් (Online) ගෙවීම් පද්ධතියක් දක්වා නවීකරණය කිරීමට සැලසුම් කර ඇත. මෙමඟින් ගොවීන්ට සහ ධීවරයන්ට අවශ්‍ය භූමිතෙල් සහ ඩීසල් සඳහා සෘජුවම සහන ලබා දීමට නියමිතය. විදුලි උත්පාදනය සඳහා දිනකට ඩීසල් ටොන් 1,000ක් පමණ වැය කරමින් අඛණ්ඩ විදුලි සැපයුමක් තහවුරු කර ඇති බව පැවසූ සභාපතිවරයා, රාත්‍රී කාලයේ විදුලි පරිභෝජනය සීමා කරන ලෙස ඉල්ලමින්, එළඹෙන වෙසක් සතිය වෙනුවෙන් පාරිභෝගිකයන්ට විදුලි බිල ආශ්‍රිත යම් සහනයක් ලබා දීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














