27 April 2024
#දේශීය

“Crafting Ceylon” වැඩසටහන ජනපති‍ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ

ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙ‍ළෙඳපොළ අවස්ථා ලබාදීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද “Crafting Ceylon” අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍යාංශ‍යේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික ශිල්ප සභාව විසින් මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.

දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් දිස්ත්‍රික් මට්ටමින් ඒකරාශී කර අපනයනය සඳහා නිෂ්පාදනය කළ යුතු හස්ත කර්මාන්ත පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ද මෙයට සමගාමීව සංවිධානය කර තිබිණි.

එහිදී දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් එක්ව සිටි ශිල්පීන් විසින් සකස් කරන ලද නිර්මාණ 2214ක් අතරින් විශිෂ්ට ශිල්පීන් සිය දෙනෙකුගේ නිර්මාණ 546ක් ජාතික විනිශ්චය මණ්ඩලය විසින් තෝරා ගනු ලැබූ අතර, එසේ තෝරාගත් හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සංකේතාත්මකව සම්මාන පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මීට අමතරව හස්ත කර්මාන්ත කේෂ්ත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ආයතන දෙකකට විශේෂ සමරු තිළිණ දෙකක් ප්‍රදානය කළ ජනාධිපතිවරයා තෝරාගත් නිර්මාණ නිරීක්ෂණය කිරීමට ද එක්විය.

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන් දිරිමත් කිරීම වෙනුවෙන් විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද විශේෂ සමරු තිළිණයක් පිරිනැමීම වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළහ.
මෙම අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහන වර්ණවත් කරමින් ජනකලා කේන්ද්‍රයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ සංස්කෘතික සංදර්ශන දෙස් විදෙස් ආරාධිත අමුත්තන්ගේ විශේෂ අවධානයක් ගනු ලැබීය.

මෙලෙස තෝරාගත් නිර්මාණ විදහා දක්වමින් කේෂ්ත්‍රයේ නියැලෙන දේශීය හා විදේශීය ගැනුම්කරුවන්, ආනයනකරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, හෝටල් කේෂ්ත්‍රයේ ප්‍රවීනයන්ගේ සහභාගීත්වයෙන් තෝරාගත් විශිෂ්ට ශිල්පීන් සමඟ ව්‍යාපාරික හමුවක් සහ මහජන ප්‍රදර්ශනයක් අද (23) සහ හෙට (24) යන දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ‘සෆායා බැන්කට්හි’දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහෙපොළ යන මහත්ම මහත්මීහු ද, විදෙස් තානාපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *