රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර මේ දිනවල පැවැත්වෙන කීර්තිමත් ජාත්‍යන්තර ආර්ථික සමුළුවට (SPIEF) සහභාගී වන කියුබානු දූත පිරිස, එරට ආර්ථිකය නැංවීම සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම වෙනුවෙන් ඉතා කාර්යබහුල නිල හමුවීම් මාලාවකට එක්ව සිටිති. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට සමගාමීව දෙරටේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ.
ඒ අනුව, කියුබානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම විදේශ වෙළඳ හා විදේශ ආයෝජන අමාත්‍ය ඔස්කාර් පෙරෙස්-ඔලිවා (Óscar Pérez-Oliva) සහ රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දිමිත්‍රි චර්නිෂෙන්කෝ (Dmitri Chernishenko) අතර පැවැති හමුවේදී දෙරට අතර පවතින ආර්ථික න්‍යාය පත්‍රයේ ඉදිරි ප්‍රමුඛතා සමාලෝචනය කෙරිණි. මීට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගිතාව පුළුල් කිරීම වෙනුවෙන් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ (Mijaíl Murashko) සමඟ ද කියුබානු නියෝජිතයන් සාර්ථක සාකච්ඡා පවත්වා ඇති බව ‘Cancillería de Cuba’ මාධ්‍ය වාර්තා කරයි.
මෙම සංචාරයේ සුවිශේෂීම සිදුවීමක් වූයේ සමුළුවට සමගාමීව පැවැත්වුණු “BRICS සංවර්ධන ඉදිරිදර්ශන: පරිවර්තනය සහ නව ක්ෂිතිජයන්” නමැති විශේෂ සංවාද මණ්ඩපයට කියුබානු විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇලෙහන්ද්‍රෝ සිමන්කාස් (Alejandro Simancas) සහභාගී වීමයි. එහිදී ලෝක ආර්ථිකයේ ප්‍රබල බලවේගයක් වන BRICS සහයෝගිතා යාන්ත්‍රණය සමඟ සෘජුවම එක්ව කටයුතු කිරීමට කියුබාව සතු දැඩි කැපවීම ඔහු නැවත වරක් ස්ථිර කළේය.
මෙහිදී අදහස් දැක්වූ කියුබානු දූත පිරිස, අමෙරිකා එක්සත් ජනපදය විසින් දශක ගණනාවක සිට කියුබාවට පනවා ඇති ඒකපාර්ශ්වික අසාධාරණ ආර්ථික සම්බාධක හේතුවෙන් තම රටේ ජනතාව මුහුණ දෙන දැඩි පීඩනය දැඩි ලෙස හෙළා දුටුවේය. එමෙන්ම, මෙම බලහත්කාරී ආර්ථික සම්බාධක වහාම ඉවත් කරන ලෙස ඉල්ලා සිටින BRICS රටවල අමාත්‍ය මණ්ඩල ප්‍රකාශනයට කියුබාවේ පූර්ණ සහයෝගය සහ උපහාරය හිමිවන බව ද ඔවුහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.















