පසුගියදා මෙරටට බලපෑ දරුණු “දිට්වා” සුළි කුණාටු (Cyclone Ditva) තත්ත්වය හේතුවෙන් ඌව පරණගම, මස්පන්න කුඩා නගරය ආසන්නයේ සිදුවූ දැවැන්ත නායයෑමකට හසුව පස් කන්දකට යටවී තිබූ ත්‍රීරෝද රථයක්, දින 171කට පසු අද (18) යළි සොයාගෙන තිබේ. මස්පන්න නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ සිදු වූ මෙම නායයෑමෙන් ඒ අසල නවතා තිබූ බස් රථ, යතුරුපැදි, ත්‍රීරෝද රථ කිහිපයක් මෙන්ම වෙළෙඳසැල් කිහිපයක් ද විශාල වශයෙන් පස් හා ගල්වලට යටවී මුළුමනින්ම විනාශයට පත්විය.
නායයෑම සිදුවූ භූමි පරිශ්‍රයේ පැවති අධික අවදානම් සහගත තත්ත්වය (High-Risk Situation) හේතුවෙන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) උපදෙස් මත පස් සහ ගල් ඉවත් කිරීමේ මෙහෙයුම් ඉතා මන්දගාමීව හා සුපරීක්ෂාකාරීව සිදුකිරීමට සිදුවූ අතර, මේ දිනවල එම බැකෝ යන්ත්‍ර මඟින් පස් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. ඒ අනුව අද දින පස් සහ ගල් ඉවත් කරන අවස්ථාවේදී මෙම ත්‍රීරෝද රථය හමුවී ඇති අතර, එය වලපනේ ලංගම ඩිපෝවේ සේවය කරන බස් කොන්දොස්තරවරයෙකුට අයත් එකක් බවට අනාවරණය වී ඇත. ඔහු එදින රාත්‍රියේ මෙම බස් නැවතුම්පොළ අසල තම ත්‍රීරෝද රථය ආරක්ෂිතව නවතා නිවස බලා ගොස් සිටි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත ස්වාභාවික විපත්තියට මුහුණ දී තිබේ.














