ශ්‍රී ලංකාව සඳහා වන සයිප්‍රස් ජනරජයේ නවදිල්ලියේ නේවාසික මහ කොමසාරිස් එවාගෝරාස් ව්‍රියොනයිඩීස් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර පැවැති නිල හමුවකදී, සයිප්‍රසයේ රැකියා වෙළෙඳපොළ ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් කිරීමට එකඟතාව පළ විය.
සයිප්‍රස් මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ එරට ශ්‍රම වෙළෙඳපොළ තුළ විශේෂයෙන්ම හෙද සේවය, සංචාරක හා ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය, කෘෂිකාර්මික අංශය, ගොඩනැගිලි හා ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙන්ම නාවික ක්ෂේත්‍රය යන අංශවල පුහුණු ශ්‍රමිකයන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවයි.
මෙම රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකිකයන්ට සාර්ථකව ලබා දීම සඳහා දෙරට අතර අවශ්‍ය ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා පියවර ගන්නා බව අවධාරණය කළේය.
මීට අමතරව, සයිප්‍රසයේ සේවය කර මෙරටට පැමිණි වයස අවුරුදු 65 සම්පූර්ණ වූ ශ්‍රී ලාංකිකයන් සඳහා හිමි විය යුතු සමාජ ආරක්ෂණ දීමනාව ලබා ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. අගතියට පත් විශාල පිරිසකගේ අවශ්‍යතාවය සලකා එම ගැටලුව ඉක්මණින් විසඳීමට කටයුතු කරන බවට මහ කොමසාරිස්වරයා සහතික විය.
මෙම සංවාදයේදී සයිප්‍රස් රජය විසින් අමාත්‍ය විජිත හේරත් මහතා වෙත එරට සංචාරයක නිරත වන ලෙස නිල වශයෙන් ආරාධනා කර සිටි අතර, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ද එකඟතාව පළ විය.
















