දඹුල්ලේදී පෞද්ගලික බසයක අතුරුදන් වූ රුපියල් ලක්ෂ තුනහමාරකට අධික වටිනාකමකින් යුත් විදේශීය යුවළගේ ජංගම දුරකථන පැය කිහිපයක් ඇතුළත සොයා දී විමර්ශන සාර්ථකව නිම කිරීමට දඹුල්ල සංචාරක පොලිසිය සමත් වේ.
කොළඹ සිට දඹුල්ල බලා පෞද්ගලික බස් රථයකින් ගමන් කරමින් සිටියදී ඉතාලි ජාතික ගේබ්රියෙල් මහතාට අයත් මෙම මිල අධික දුරකථන අතුරුදන් වී ඇති අතර, ඒ පිළිබඳව දඹුල්ල සංචාරක පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම සක්රිය වූ පොලිස් කණ්ඩායම විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. ඉන් අනතුරුව ගලේවෙල, කානාධන ප්රදේශයේ කාන්තාවක සතුව තිබී අදාළ දුරකථන සොයාගෙන තිබෙන අතර, බස් රථයේ තිබී හමු වූ මෙම දුරකථන හිමිකරු පැමිණි පසු භාරදීමේ අභිලාෂයෙන් ළඟ තබාගත් බව එම කාන්තාව පොලිසිය හමුවේ ප්රකාශ කර තිබේ.
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සුරක්ෂිතභාවය සහ ආයතනික කාර්යක්ෂමතාව නැවත වරක් තහවුරු කෙරෙන මෙම සිදුවීමේදී, තම බඩුබාහිරාදිය කෙටි කාලයක් තුළ ආපසු ලබාදීමට පොලිස් නිලධාරීන් දැක්වූ කැපවීම පිළිබඳව අදාළ විදේශීය යුවළ සිය කෘතඥතාව පළ කර ඇත. නීතිමය ක්රියාමාර්ග අවශ්ය නොවන බව පවසමින් පැමිණිල්ල ඉල්ලා අස්කර ගත් විදේශීය සංචාරකයින් සතුටින් පිටව ගිය අතර, සංචාරක ආරක්ෂාව උදෙසා ක්ෂණිකව ක්රියාත්මක වීමේ වැදගත්කම මෙම සිද්ධිය හරහා නැවතත් අවධාරණය කෙරේ.














