ලබන ජූනි මස 02 වැනිදා දක්වා දඹුල්ල පොලිස් වසමේ පැවැත්වෙන වෙසක් කලාපය හේතුවෙන් ඇති වන මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඉකුත් 27 වැනිදා ආරම්භ වූ මෙම වෙසක් කලාපය නැරඹීමට විශාල ජනතාවක් පැමිණෙන බැවින් ඉදිරි දින දෙක සඳහා මෙම සැලැස්ම සවස 03:00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වන බව පොලිසිය නිවේදනය කරයි.
ක්‍රියාත්මක වන රථවාහන සැලැස්ම සහ විකල්ප මාර්ග මෙසේය:
අනුරාධපුර සහ හබරණ දෙස සිට නුවර – මාතලේ දෙසට ගමන් කරන වාහනවලට දඹුල්ල බස් නැවතුම්පළ අසල ඇති නාමල් උයන මාර්ගයෙන්, ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගය හරහා ගොස් ඇනෝන් හන්දියෙන් නැවත ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකිය.
මාතලේ – නුවර දෙස සිට පැමිණෙන බර වාහන පන්නම් පිටිය හන්දියෙන් ඇතා බැඳිවැව මාර්ගයෙන් තලකිරියාගම හන්දියට ගොස් නැවත කුරුණෑගල මාර්ගය ඔස්සේ දඹුල්ල දෙසට ගමන් කළ යුතු වේ. කෙසේවෙතත් එම දෙසින් පැමිණෙන මගී ප්‍රවාහන බස් රථ, යතුරුපැදි සහ සැහැල්ලු වාහනවලට සාමාන්‍ය පරිදි මාතලේ – දඹුල්ල මාර්ගයේ ගමන් කිරීමට හැකියාව පවතී.
මීට අමතරව බකමුණ දෙස සිට පැමිණෙන වාහන කණ්ඩලම හන්දිය අසල ඇති සිව්මහන්දියෙන් වම් පසට ඇති මාර්ගය භාවිත කර නැවත නුවර – මාතලේ ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකිය. මෙම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කර මාර්ග තදබදය අවම කර ගැනීමට සහාය වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















