සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තුළ සිදුවූවා යැයි කියන රුපියල් මිලියන 500කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (24) මෙම පැමිණිල්ල භාරදී ඇති අතර, 2019 වසරේදී සිදුකළ අනීතික පත්වීම් මඟින් මෙම වංචාව සිදුව ඇති බව එහි සඳහන් වේ.
අදාළ තනතුරු සඳහා නීතිවිරෝධී ලෙස පත්කළ පුද්ගලයන්ට මිලියන ගණනින් වැටුප් ගෙවීම හරහා මෙම මූල්‍ය අක්රමිකතාව සිදුව ඇති බව සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුවේ සභාපති සෝමසිරි ලියනගේ මහතා සඳහන් කළේය. දේශපාලන හිතවත්කම් මත පදනම්ව සහනාධාර ලබාදීමට සහ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අරමුදල් අවභාවිත කිරීමට හිටපු අමාත්‍යවරයා කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. මෙම සිදුවීම් සිදුවූ වකවානුවේදී සජිත් ප්‍රේමදාස මහතාද අදාළ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බව සභාපතිවරයා වැඩිදුරටත් මතක් කර සිටියේය.
















