27 April 2024
#සංවර්ධන

ගැටළු නැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත ඔප්පු – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධීපති මාධ්‍ය අංශය පවසයි.

ඉඩම් ඔප්පු නොතිබීම දිවයින පුරා චාරිකා කළ තමාට දිස්ත්‍රික්ක රැසක ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පරම්පරා ගණනක් පදිංචිව සිටිය ද, වගා කටයුතු කළ ද ඔප්පු නොමැති වීමෙන් ඔවුන් දැඩි පීඩාවට ලක්ව ඇතැයි ජනාධිපතිවරයා කියා සිටියේය. ඒ අනුව ප්‍රශ්නය විසඳීමට රටට සහ ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ආකාරයට ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතු යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධීපතිවරයා මේ බව පැවසුවේ අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවේදීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වගාවට නොගත් ඉඩම් සුදුසු වගාවන් සඳහා භාවිතා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා තරුණ ව්‍යවසායකයන්ට ඒවා බදු දීමෙන් ජාතික ආර්ථිකයට දායක කරගත හැකි බව පැවසීය.

බදු පදනම මත ඉඩමක නිරවුල්භාවය ගැනීමට ආයතන 20 කට අධික සංඛ්‍යාවක අනුමැතිය ගැනීමට ජනතාවට සිදුව ඇති අතර ඒ සඳහා වසර ගණනාවක් ගතවන බව අනාවරණය වි ඇති බව ජනාධීපතිවරයා මෙහිදී කියා සිටියේය.

මෙවැනි තත්ත්වයන්ට ඉඩ නොතබා සරල කොන්දේසි වලට යටත්ව ඉඩම්වල නිරවුල්භාවය දීමට පියවර ගන්නැයිද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයකට යොමුකරන ඉල්ලීමකට දින 14ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සකස් විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *