රුසියාවේ මොස්කව් නුවර පැවති ආරක්ෂක කටයුතු පිළිබඳ උසස් නිලධාරීන්ගේ 14 වන ජාත්‍යන්තර හමුව සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සහභාගි විය.
වර්තමාන ලෝකයේ මතුවෙමින් ඇති ගෝලීය ආරක්ෂක අභියෝග පිළිබඳව ඔහු විශේෂ දේශනයක් පැවැත්වීය. වර්තමානයේ ඉන්දියන් සාගර කලාපයට ලැබෙන අවධානය සහ වටිනාකම ඉහළ ගොස් ඇති බවත්, සාමය, සහයෝගීතාව සහ පොදු අභිවෘද්ධිය සහිත කලාපයක් ලෙස මෙය ඉතා වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නේය. රටවල් අතර ඇති තරගකාරීත්වය ගැටුම් දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා සුහද සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම ඔහු පැහැදිලි කළේය. වර්තමාන ආරක්ෂක අභියෝග හුදෙක් හමුදාමය ගැටලුවකට පමණක් සීමා නොවන බවත්, ආර්ථික අස්ථාවරත්වය, ආහාර සහ බලශක්ති හිඟය, නිවැරදි තොරතුරු සමාජගත කිරීම සහ නව තාක්ෂණය වැරදි ලෙස භාවිත කිරීම වැනි ගැටලුවලටද රටවල් මුහුණ දෙමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය.
















