ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ආබාධිත රණවිරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ අනුව, කැබිනට් තීරණ මගින් ලබා දෙන සහන ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්ම ත්‍රස්ත ක්‍රියා නිසා මියගිය, ආබාධිත වූ හෝ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් සේවයෙන් ඉවත් කෙරුණු පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජනය සහිත වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමටත්, එම වෛද්‍ය මණ්ඩල කටයුතු ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කරමින් දිවයින පුරා විසිරී සිටින රණවිරුවන්ට පහසුවෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන පරිදි විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමටත් තීරණය විය.
මෙම ක්‍රමවේදය තුළින් සහන අපේක්ෂිත රණවිරුවන්ට අවහිරතාවක් නොවන පරිදි ත්‍රිවිධ හමුදාව සතු වෛද්‍ය පහසුකම් උපරිම ලෙස භාවිත කරමින් ඔවුන් වෛද්‍ය මණ්ඩල වෙත යොමු කිරීමටත්, සුදුසුකම් ලත් සියලුම රණවිරුවන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන ලෙස අදාළ සියලු පාර්ශ්ව වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
















