දෙහිවල, සිරිසඟබෝ මාවතේ නිවසකට පසුගිය 11 වැනිදා අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් වයස අවුරුදු 11 සහ 17 වූ සහෝදරයන් දෙදෙනෙකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසයි.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයා පවසා ඇත්තේ, තමන් ඉලක්ක කළ නිවස සහ බෝම්බය එල්ල වූ නිවස එකම බිත්තියකින් වෙන්ව තිබීම හේතුවෙන් නිවාස දෙක හඳුනාගත නොහැකි වූ බවයි.
මෙම ප්‍රහාරයෙන් මියගිය දරුවන් දෙදෙනාගේ පියා බරපතළ තුවාල ලබා ඇති අතර, ඔහුගේ එක් පාදයක්ද ඉවත් කිරීමට සිදුව තිබේ. දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ සිදුකර තිබුණි.
විමර්ශනවලදී ප්‍රහාරය සඳහා භාවිත කළ බවට සැකකෙරෙන ත්‍රිරෝද රථය සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණ වී තිබේ. එම ත්‍රිරෝද රථයේ වර්ණය වෙනස් කිරීම සඳහා ගරාජයකට ලබාදුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු සහ ගරාජයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පසුගිය 10 වැනිදා රාත්‍රී පුද්ගලයෙකු පැමිණ ත්‍රිරෝද රථය රැගෙන ගිය බවට තොරතුරු හෙළිවී තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, එම තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනවලදී හිරුත්ම ශෂ්මික හෙවත් “හිරු මල්ලි” සහ මදුෂ්ක රේණුක ප්‍රනාන්දු හෙවත් “මදූ” යන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත.
එමෙන්ම, ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයා තමන්ගේ ඥාති පුත්‍රයෙකු වූ “කොස් මල්ලි” සහ බෝදියාවත්තේ “අවිශ්ක” යන අයගේ උපදෙස් මත ප්‍රහාරය සිදුකළ බවට පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇති බවද වාර්තා වේ.
මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.














