දෙල්ගොඩ නගරාසන්නයේ පිහිටි ප්‍රධාන පෙළේ ආනයනික භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයකින් භාණ්ඩ සොරාගෙන, එම භාණ්ඩ ෆේස්බුක් (Facebook) ඔස්සේ මාර්ගගත ක්‍රමයට අලෙවි කළ අඹුසැමි යුවළක් මීගහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අලෙවි මධ්‍යස්ථානයේ පවතින කාර්යබහුලත්වය සහ පාරිභෝගික පෝලිම්වලදී සේවක අවධානය වෙනතකට යොමු වන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින්, සැකකරු ජංගම දුරකථනයෙන් කතා කරන ආකාරයට බිල් නොගෙවා භාණ්ඩ රැගෙන ගොස් ඇත. අගෝස්තු මාසය තුළ පමණක් මෙලෙස විදුලි උපකරණ සහ වතුර මෝටර් ඇතුළු රුපියල් 257,000ක් වටිනා භාණ්ඩ ඔහු සොරාගෙන තිබේ.
ආයතන හිමිකරු විසින් මීගහවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව වැලිවේරිය පින්කොවත්ත ප්‍රදේශයේ නිවෙසක් වටලා, වැරදි ක්‍රමයට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සොරාගත් භාණ්ඩ සමඟ 39 හැවිරිදි සැකකරු සහ 36 හැවිරිදි ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.















