ලෝකයම හෙල්ලූ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමේ අතිශය රහසිගත හමුදා මෙහෙයුම, ඇමරිකානු හමුදාවේම සෙබළකු විසින් පෞද්ගලික වාසිය සඳහා ඔට්ටුවකට තබා ඇති බව හෙළිවීමත් සමඟ ජාත්‍යන්තර ආරක්ෂක අංශ කැළඹීමට පත්ව තිබේ. ඇමරිකානු ප්‍රභූ “ඩෙල්ටා ෆෝස්” බළකායට අනුයුක්තව සේවය කළ ගැනොන් කෙන් වැන් ඩයික් නමැති සෙබළා, තම රටේ අති සංවේදී හමුදා රහස් පිටතට ලබා දෙමින් සිදු කළ මෙම මහා පාවාදීම සම්බන්ධයෙන් ෆෝට් බ්‍රැග් හමුදා කඳවුරේදී අත්අඩංගුවට ගෙන ඇත. රජයේ රහස් තොරතුරු වෙන්දේසි කරමින් ඔහු සිදු කළ මෙම ක්‍රියාව, ඇමරිකානු හමුදා ඉතිහාසයේ අතිශය විමර්ශනයට ලක්වන බරපතළම අපරාධයක් ලෙස දැන් සැලකේ.
මොහු මෙම මාරාන්තික සූදුව ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේදී වන අතර, එහිදී ඔහු ජනවාරි මාසය වන විට මදුරෝ බලයෙන් නෙරපා හරින බවට අනාවැකි පවසමින් ඇමරිකානු ඩොලර් 32,000 ක මුදලක් ඔට්ටු අඩවි හරහා තබා තිබේ. ඇමරිකානු ජනාධිපතිවරයාගේ අණින් ඩෙල්ටා ෆෝස් සෙබළුන් ජනවාරි 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ වෙනිසියුලාවට කඩා වැදී මදුරෝ සහ ඔහුගේ බිරිඳ බලහත්කාරයෙන් කුදලාගෙන ඇමරිකාවට රැගෙන එද්දී, කෙන් වැන් ඩයික්ගේ අනාවැකිය ද අකුරටම නිවැරදි විය. එම ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට ඩොලර් 400,000 ක දැවැන්ත මුදලක් හිමි වූ අතර, එම මුදල් විදේශීය ක්‍රිප්ටෝ ගිණුමක් හරහා සිය පෞද්ගලික ගිණුමට ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ ඔහු වට කිරීමට සමත් විය.
දැනට මෙම සෙබළාට එරෙහිව රජයේ රහස් සොරකම් කිරීම, වංචාව සහ අවභාවිතය ඇතුළු බරපතළ අපරාධ චෝදනා පහක් යටතේ නඩු පවරා ඇති අතර ඔහු ඉදිරියේදී උතුරු කැරොලිනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. රහස් මෙහෙයුමක නිරත වෙමින් එහි සාර්ථකත්වය මත ඔට්ටු ඇල්ලීම මගින් ඔහු රටේ ජාතික ආරක්ෂාව පමණක් නොව තම සගයන්ගේ ජීවිත ද අනතුරේ හෙළා ඇති බව හමුදා ප්‍රධානීන් පෙන්වා දෙති. තණ්හාව නිසා තම ගෞරවනීය නිල ඇඳුම පාවා දුන් මෙම සෙබළාට හිමිවන දඬුවම, හමුදා රහස් සමඟ සෙල්ලම් කිරීමට තැත් කරන ඕනෑම අයකුට ජීවිත කාලයටම අමතක නොවන පාඩමක් වනු ඇති බව නිසැකය.














