දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය අසලදී පසුගිය මස 23 වැනි දින වාර්තා වූ සංවිධානාත්මක වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකාර වෙඩික්කරු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ අපරාධය සිදු කිරීමෙන් අනතුරුව ප්‍රදේශයෙන් පළගොස් සැඟවී සිටි සැකකරු හඹා ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, නීති විරෝධී ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලිස් අංශ ක්‍රියාත්මක කර ඇති දැඩි මෙහෙයුම්වල තවත් එක් සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙය දැක්විය හැකිය.
මෙම අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, එමඟින් මෙම අපරාධය පිටුපස මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක සම්බන්ධයක් පවතින්නට ඇති බවට මූලික විමර්ශන මගින් අනාවරණය කරගෙන ඇත. පසුගිය කාලය තුළ කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සිදුවූ විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් මහජන ආරක්ෂාව පිළිබඳව නැවත නැවතත් අවධානය යොමු වී තිබූ පසුබිමක, මෙම වෙඩික්කරු කොටු කර ගැනීම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ තීරණාත්මක පියවරක් බවට පත්ව ඇත.
මෙම විමර්ශනයේ ප්‍රගතියත් සමඟ වෙඩි තැබීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින්, අවි ආයුධ සැපයූ ජාලය සහ මෙහි මහ මොළකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව ඉදිරියේදී පුළුල් අනාවරණයක් සිදුවනු ඇති බව පොලිසිය විශ්වාසය පළ කරයි. නීතියේ රැහෙන් බේරී සිටීමට උත්සාහ කරන සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව ආරක්ෂක අංශ දැඩි හා ක්‍රියාමාර්ග ගනිමින් සිටින වටපිරටාවක, මෙම සැකකරුගෙන් අනාවරණය වන තොරතුරු මත පදනම්ව ඉදිරියේදී තවත් වැදගත් අත්අඩංගුවට ගැනීම් සිදු වීමට නියමිතය.














