දෙමෝදර ඇතුල්කන්ද ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නක් හේතුවෙන් එම කන්දට පහළින් පිහිටි නිවාස කිහිපයකට ගල් පෙරළියාමේ බරපතළ අවදානමක් මතුව ඇති බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ගයාන් ඉන්දික මහතා පවසයි. පසුගිය 16 වනදා රාත්‍රී 7.00ට පමණ මෙම ගින්න හටගෙන තිබුණි. ගින්න හටගෙන පැය කිහිපයක් ගතවන විට ප්‍රදේශවාසීන් එක්ව එහි පැතිරීම පාලනය කිරීමට සමත්ව ඇති අතර, වතු සීමාවන්හි මායිම්වල ගිනිපටි සකසා තිබීම හේතුවෙන් අවට තේ වතුවලට ගින්න පැතිරයාම වැළකී ගොස් තිබේ.
කෙසේ වුවද ගින්න හේතුවෙන් කඳු බෑවුම්වල පස බුරුල් වීම නිසා ඉදිරියේදී ඇතිවිය හැකි වර්‌ෂාපතනයත් සමඟ මෙම ගල් පෙරළීමේ අවදානම් තත්ත්වය උත්සන්න විය හැකි බව බලධාරීහු පෙන්වා දෙති. ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ (NBRO) බදුල්ල දිස්ත්‍රික් ප්‍රධානී, භූ විද්‍යාඥ හර්‌ෂණී පෙරේරා මහත්මිය සඳහන් කළේ, පවතින අවදානම පිළිබඳව ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත වී වාර්‌තාවක් ලබාගැනීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවය.
මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මෙවැනි ලැව්ගිනි හටගැනීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර, ඉන් පසුව ඇතිවන වර්‌ෂා කාලයන්හිදී නායයෑම් සහ ගල් පෙරළීම් වැනි ද්විතීයික ආපදා වර්ධනය වන බව භූ විද්‍යා අංශ පෙන්වා දෙයි. මේ හේතුවෙන් කන්ද පහළ පදිංචි වැසියන් ඉදිරි කාලගුණික විපර්‌යාස පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රාදේශීය ලේකම් කාර්‌යාලය එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්‌තා වේ.
















