මාරාන්තික ඩෙංගු වසංගතය මෙරට තුළ ශීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතින අතර, මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 70,000ක සීමාවට පැමිණීමත් සමඟ සමස්ත රටම දැඩි භීතියකට පත්ව තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, ඊයේ (13) වන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 69,951ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම වසංගතය හේතුවෙන් මේ වන විට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 48කි.
විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ මෙම තත්ත්වය ඉතා උග්‍ර අතට හැරී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ජනාකීර්ණ නගර කේන්ද්‍ර කර ගනිමින් පැතිර යන මෙම වසංගතය හේතුවෙන් රෝහල් පද්ධතිය ද දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, තත්ත්වය තවදුරටත් පාලනය කරගත නොහැකි වුවහොත් ඉදිරි සති කිහිපය තුළ රෝගීන් සංඛ්‍යාව පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ යා හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.
පවතින අධි අවදානම් තත්ත්වය හමුවේ නිවෙස් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන වහාම විනාශ කිරීම පිළිබඳව ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.
















