වයිරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දෙණියාය කලාපයේ පාසල් හතරක් ඊයේ (13) යළි විවෘත කළද සිසුන්ගේ පැමිණීම ඉතා පහළ මට්ටමක පැවති බව විදුහල්පතිවරුන් ප්‍රකාශ කර තිබේ. සිසුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන මෙම රෝගී තත්ත්වය සහ ප්‍රදේශයේ පැවති නොකඩවා වර්ෂාව මෙම අඩු පැමිණීමට ප්‍රධාන හේතු වී ඇත. දෙණියාය මධ්‍ය විද්‍යාලයේ මුළු සිසුන් 3,019 කගෙන් පැමිණ ඇත්තේ 159 ක් පමණක් වන අතර දෙණියාය රාජපක්ෂ විද්‍යාලයේ සිසුන් 720 කගෙන් පැමිණ ඇත්තේ 65 කි. එසේම ශාන්ත මැතිව් ද්වි භාෂා විද්‍යාලයේ සිසුන් 1,040 කගෙන් 41 ක් සහ පල්ලගම සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 487 කගෙන් පැමිණ ඇත්තේ 06 ක් පමණක් බව වාර්තා වේ.
විදුහල්පතිවරුන් සඳහන් කරන පරිදි ගුරුවරුන්ගේ පැමිණීම යහපත් මට්ටමක පැවති අතර පාසල් පැමිණි සිසුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර තිබුණි. පාසල් විවෘත කිරීමට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ විෂබීජහරණය ඇතුළු සනීපාරක්ෂක කටයුතු සිදු කර ඇත. දෙණියාය මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරි රන්දිව් අබේවික්‍රම මහතා පවසන පරිදි මෙම වයිරස් උණ රෝගය අපිරිසිදු ජලය සහ ආහාර මගින් පැතිර යන මෙනින්ජයිටිස් (Meningitis) තත්ත්වයක් බව වෛද්‍ය කණ්ඩායම් විසින් හඳුනාගෙන තිබේ.














