ඩෙන්මාර්කයේ ආරක්ෂක අමාත්‍ය ට්‍රොයෙල්ස් ලුන්ඩ් පෝල්සන්ගේ (Troels Lund Poulsen) ප්‍රධානත්වයෙන් පැවැති මැද-දකුණ (centre-right) දේශපාලන සාකච්ඡා බිඳ වැටීමෙන් පසු, නව රජයක් පිහිටුවීමට නැවත උත්සාහ කරන ලෙස ඩෙන්මාර්කයේ ෆ්‍රෙඩ්රික් රජු විසින් භාරකාර අගමැතිනී මෙට් ෆ්‍රෙඩ්රික්සන්ගෙන් (Mette Frederiksen) ඉල්ලා තිබේ.
මෙම තීරණයත් සමඟ, මැතිවරණයේදී දැඩි පසුබෑමකට ලක්වුවද තවමත් එර රට විශාලත්ම පක්ෂය වන ‘සෝෂල් ඩිමොක්‍රැට්ස්’ (Social Democrats) පක්ෂයේ නායිකා ෆ්‍රෙඩ්රික්සන්ට පිට පිට තෙවැනි වරටත් එරට අගමැති ධුරය ලබා ගැනීමට නව අවස්ථාවක් උදා වී ඇත.
පසුගිය මාර්තු මාසයේ පැවැති මැතිවරණයෙන් පසු එරට පාර්ලිමේන්තුව පක්ෂ 12ක් අතර බෙදී ගිය අතර, ෆ්‍රෙඩ්රික්සන්ගේ සෝෂල් ඩිමොක්‍රැට්ස් පක්ෂයට හිමිවුණේ ආසන 179කින් ආසන 38ක් පමණි. මෙය 1903 වසරෙන් පසු එම පක්ෂය ලැබූ දරුණුම මැතිවරණ පරාජයයි. මීට පෙර මධ්‍යස්ථ මතධාරී ‘මොඩරේට්’ (Moderate) පක්ෂය සාකච්ඡාවලින් ඉවත් වීම නිසා ෆ්‍රෙඩ්රික්සන්ගේ රජයක් පිහිටුවීමේ උත්සාහය ව්‍යර්ථ වූ අතර, ඉන්පසු දකුණත් පක්ෂ නායක පෝල්සන්ට ඒ සඳහා අවස්ථාව හිමි විය. කෙසේ වෙතත්, දැන් ඔහුද අසාර්ථක වීම නිසා නැවතත් බලය ලබා ගැනීමට නම් මොඩරේට් පක්ෂයේ නායක ලාර්ස් ලොක්කේ රස්මුසන්ගේ (Lars Lokke Rasmussen) සහය ලබා ගැනීමට ෆ්‍රෙඩ්රික්සන්ට දැඩි කොන්දේසිවලට එකඟ වීමට සිදුවනු ඇත.
ග්‍රීන්ලන්තය (Greenland) සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය විසඳීමට ඩෙන්මාර්කය උත්සාහ කරන මෙවැනි සංවේදී වටපිටාවක, රජයක් පිහිටුවීමේ සාකච්ඡා මෙලෙස දිගින් දිගටම ප්‍රමාද වීම එරට තීරණ ගැනීමේ ක්‍රියාවලිය අඩාල වීමට හේතු වී තිබේ.














