පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඊයේ (12) කපුරැල්ල උණුදිය තෙත්බිම නිරීක්ෂණය සඳහා සහභාගී විය. තිරසර ජෛව පද්ධති සංරක්ෂණය සහ සදාහරිත පරිසරයක් සඳහා වන රජයේ ප්‍රතිපත්ති අනුව මෙවැනි සුවිශේෂී පරිසර පද්ධති අනාගත පරපුරට දායාද කිරීමේ වැදගත්කම ඔහු එහිදී අවධාරණය කළේය.
කපුරැල්ල තෙත්බිම මෙරට හඳුනාගත් එකම උණුදිය තෙත්බිම වන අතර, එය ලෝකයේ ඉතා සීමිත සංඛ්‍යාවකින් පමණක් දක්නට ලැබෙන සුවිශේෂී භූතාප තෙත්බිම් වර්ගයට අයත් වේ. හෙක්ටයාර් 20.1 ක භූමි ප්‍රමාණයකින් යුක්ත මෙම කලාපය සංරක්ෂණය කර ගැසට් කිරීමට පරිසර අමාත්‍යාංශය, ජාතික ජල සම්පත් මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව දැනටමත් පියවර ගෙන ඇත.
සාමාන්‍ය තෙත්බිම්වලට වඩා ඉහළ උෂ්ණත්වයක් පවතින බැවින්, ඊට අනුවර්තනය වූ සුවිශේෂී ක්ෂුද්‍ර ජීවීන්, ජලජ ශාක සහ විවිධ පක්ෂී විශේෂ රැසකට මෙය වාසස්ථානයක් සපයයි. මෙම පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම හරහා භූ විද්‍යාත්මක හා උණුදිය උල්පත් පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සඳහා අවස්ථා විවෘත වන අතර තිරසර පරිසර සංචාරක කර්මාන්තයේ වර්ධනයට ද එය මහඟු පිටුවහලක් වනු ඇත.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ප්‍රාදේශීය ලේකම්වරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














