වී අලෙවි මණ්ඩලයේ රජයේ ගබඩා විවෘත කර තිබූ අවස්ථාවලදී ඒවාට නිසි පරිදි වී ලබානොදී තමන් සන්තකයේ තබාගත් ගොවීන් ද යම් වරදක් සිදුකර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. වත්මන් ගොවි ගැටලු සහ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය.
වත්මන් තත්ත්වය යටතේ වී විකුණා ගැනීමට නොහැකි බව පවසමින් රජයේ ගබඩා වහාම විවෘත කරන ලෙස ඉල්ලා කෑගසන කණ්ඩායමක් ක්ෂේත්‍රය තුළ සිටින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, රජයේ ගබඩා විවෘතව පැවති නිසි කාල වකවානුවලදී ඒවාට වී ගෙනවිත් භාරදීමට කටයුතු නොකළේ මන්දැයි එම පාර්ශවයන්ගෙන් ප්‍රශ්න කර සිටියි. එමෙන්ම, වර්තමානය වන විට වෙළඳපොළේ පවතින බොහෝමයක් වී තොග සාමාන්‍ය ගොවීන් සතුව නොමැති බව ප්‍රකාශ කළ ඔහු, රජයේ ගබඩා විවෘතව තිබියදීත් යම් ගොවියෙකු සිය වී තොග ලබානොදී ළඟ තබාගත්තේ නම් එය ද වරදක් බවත්, තමන්ට පවතින කිසියම් හෝ වෙනත් හැකියාවක් හෝ වාසියක් බලාපොරොත්තුවෙන් ඔවුන් එසේ කරන්නට ඇති බවත් සඳහන් කළේය.
මීට අමතරව, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ගොවීන්ගෙන් ඉතා අඩු මිලට (දෙක පහට) වී ටික මිලදී ගෙන, පසුව වැඩි මිලට විකිණීමේ පරමාර්ථයෙන් වී තොග රැස්කර තබාගත් අතරමැදි කණ්ඩායම් මේ වන විට ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළිදරව් කළේය. එවැනි මහා පරිමාණ ලෙස වී එක්රැස් කරගත් අතරමැදියන් වත්මන් වෙළඳපොළ තත්ත්වය හමුවේ දැඩි ප්‍රශ්නයකට මුහුණ දී සිටිය හැකි බව පෙන්වා දුන් නාමල් කරුණාරත්න මහතා, එම අතරමැදි පාර්ශවයන් මුහුණ දී ඇති ගැටලුව පිළිබඳව ද රජයක් ලෙස වෙනම සාකච්ඡා කර ඉදිරියේදී ඇහුම්කන් දීමට සූදානම් බව වැඩිදුරටත් කියා සිටියේය.
















