දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ. ආරක්ෂක හේතූන් මත මෙම අංගය ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා සහ දිස්ත්‍රික් ලේකම්වරයා නිර්දේශ කර තිබියදී, එම නර්තන අංගය සඳහා අවසර ලබා දෙමින් බස්නායක නිලමේවරයා විසින් ලිපියක් නිකුත් කිරීම මෙයට හේතු වී ඇත.
දෙවිනුවර බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුශංක මහතා විසින් කාවඩි නර්තන ශිල්පීන්ගේ සංසදය වෙත 2026.07.26 දිනැතිව යොමු කරන ලද ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ, 06 වන පේළි පෙරහර සඳහා කාවඩි නර්තන කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි. ඒ අනුව ලියාපදිංචි කණ්ඩායම් 25 කට පමණක් නර්තනයේ යෙදීමට අවසර ලබා දෙන බවද එම ලිපියේ සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම තීරණය පොලිස්පති විසින් මීට පෙර නිකුත් කරන ලද ආරක්ෂක උපදෙස්වලට පටහැනි වේ. පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් සහ විදේශගතව සිටින ‘කංජිපානි ඉම්රාන්’ නමැති අපරාධකරු විසින් බස්නායක නිලමේවරයාට එල්ල කර ඇති මරණ තර්ජන සැලකිල්ලට ගනිමින්, මෙවර කාවඩි අංගය පෙරහරෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.
රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු බුද්ධි අංශ වාර්තා මඟින් අනතුරු අඟවා තිබුණේ, 40,000 කට අධික ජනතාවක් රැස්වන මෙම අවස්ථාවේදී ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් ප්‍රහාරයක් එල්ල වීමේ හෝ මහජන කලබලයක් ඇති වීමේ දැඩි අවදානමක් පවතින බවයි. එම අවදානම සැලකිල්ලට ගෙන මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ද බස්නායක නිලමේවරයා වෙත නියෝග කර තිබුණේ කාවඩි නර්තන අංගය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.














