ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන් අතර වසර ගණනාවක් පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘දෙවැනි ඉනිම’ ටෙලිනාට්‍යය අද සිය අවසාන කොටස විකාශයට පත්කර නිම,නිමාවිය.
“ජීවිත පිට්ටනියේ කරන තරගය එක ඉනිමකින් කෙළවර නොවන බව” පෙන්වා දෙමින්, වසර දහයකට ආසන්න කාලයක් ලාංකීය ප්‍රේක්ෂක හදවත් දිනාගත් ‘දෙවැනි ඉනිම’ ටෙලිනාට්‍යය සිය විකාශය නිමා කර ඇත්තේ දේශීය ටෙලිවිෂන් කලාවේ සුවිශේෂී සලකුණක් තබමිනි. 2017 වසරේ සිට 2026 වසර දක්වා විකාශය වූ මෙම නාට්‍යය, විදේශීය නාට්‍යයන් සතු වූ ආධිපත්‍යය බිඳ දමමින් ශ්‍රී ලාංකික සලකුණ ජාත්‍යන්තර සෝප් ඔපෙරා නාට්‍ය ඉතිහාසය වෙත රැගෙන යාමට සමත් විය.
ජාත්‍යන්තර මට්ටමෙන් ගත් කල, තවමත් නිෂ්පාදනය කෙරෙන ලොව දීර්ඝතම ටෙලිනාට්‍යය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ එක්සත් රාජධානියේ ‘Coronation Street’ ටෙලිනාට්‍යයයි. එය 1960 දෙසැම්බර් 09 වැනිදා සිට අද දක්වා වසර 66ක් පුරා අඛණ්ඩව විකාශය වේ. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ‘General Hospital’ (1963 සිට) සහ ‘Days of Our lives’ (1965 සිට) යන ටෙලිනාට්‍යයන් ද දශක හයකට අධික කාලයක් පුරා තවමත් විකාශය වෙමින් පවතී. ඇමරිකාවේ ‘As the World Turns’ නාට්‍යය වසර 54ක් (1956-2010) විකාශය වූ අතර, 1937 දී රේඩියෝ නාට්‍යයක් ලෙස ඇරඹි ‘Guiding Light’ කෘතිය 1952 සිට 2009 දක්වා ටෙලිනාට්‍යයක් ලෙස ප්‍රේක්ෂකයන් අතරට පැමිණියේය. ජපානයේ සුප්‍රකට සජීවීකරණ ටෙලිනාට්‍යයක් (Animated Drama) වන ‘Sazae-san’ 1969 වසරේ සිට මේ දක්වාම ජපන් ප්‍රේක්ෂකයන් පිනවීමට සමත්ව තිබේ.
ආසියානු කලාපය දෙස බැලීමේදී, ඉන්දියාවේ ‘Taarak Mehta Ka Ooltah Chashmah’ (2008 සිට) සහ ‘Yeh Rishta Kya Kehlata Hai’ (2009 සිට) යන ටෙලිනාට්‍යයන් වසර දහස් ගණනක කථාංග සපුරමින් තවමත් ඉහළ ජනප්‍රියත්වයකින් යුතුව විකාශය කෙරේ. ශ්‍රී ලංකාවේ දේශීය ටෙලිනාට්‍ය ඉතිහාසය දෙස හැරී බැලීමේදී, වත්මන් ‘දෙවැනි ඉනිම’ ටෙලිනාට්‍යයේ නිමාව කැපී පෙනෙන සිදුවීමක් වුව ද, ලාංකීය ටෙලිවිෂන් වංශකතාවේ නොමැකෙන වාර්තාවක් තබමින් 1987 වසරේ සිට අද දක්වාම අඛණ්ඩව විකාශය වන සුවිශේෂී සලකුණ වන්නේ ස්වාධීන රූපවාහිනියේ ‘කෝපි කඩේ’ ටෙලිනාට්‍යයයි. මෙම දීර්ඝ කාලීන නිර්මාණයන් මඟින් පැහැදිලි වන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් සෝප් ඔපෙරා සහ මෙගා නාට්‍ය කලාවට සමාජය තුළ සදාකාලික ඉල්ලුමක් පවතින බවයි.
















