මැදපෙරදිග කලාපයේ වෙසෙන විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වඩාත් වේගවත් සහ ආරක්ෂිත අයුරින් මව්බිම වෙත මුදල් ප්‍රේෂණය කිරීමට (Remittance) පහසුකම් සලසමින්, මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ඩුබායි හි සුප්‍රකට AlfaNow ආයතනය සමඟ විශේෂ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ.
මෙම නව සහයෝගීතාවය හරහා විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සහ මැදපෙරදිග කලාපයේ සේවය කරන ලාංකිකයන්ට ඉතා අඩු කාලයකදී, අවම සේවා ගාස්තු යටතේ මෙරට සිටින තම සමීපතමයන් වෙත මුදල් එවීමට අවස්ථාව සැලසේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධානතම ජීවනාලියක් බඳු වූ විදේශ ප්‍රේෂණ ගලා ඒම තවදුරටත් ධෛර්යමත් කිරීම සහ විධිමත් බැංකු පද්ධතිය හරහා ආරක්ෂිතව මුදල් එවීමට ජනතාව නැඹුරු කරවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. බොහෝ ශ්‍රී ලාංකික පවුල්වල එදිනෙදා වියදම්, දරුවන්ගේ අධ්‍යාපනය සහ දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් මෙම විදේශ මුදල් උපකාරී වේ.
මෙම විශේෂ හවුල්කාරිත්වය නිල වශයෙන් තහවුරු කිරීමේ ගිවිසුම් හුවමාරුව AlfaNow හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී (Group CEO) හසන් ජබර් (Hassan Jaber) මහතා සහ DFCC බැංකුවේ විදේශ බැංකු කටයුතු, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇන්ටන් ආරුමුගම් මහතාගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇන්ටන් ආරුමුගම් මහතා සඳහන් කළේ, “විදේශගත ශ්‍රී ලාංකිකයන් මව්බිමට එවන සෑම සතයක්ම ඔවුන්ගේ පවුල්වලට මෙන්ම රටේ ආර්ථිකයටත් කොතරම් වටිනවාද යන්න අප හොඳින්ම දන්නවා. ඒ නිසා ඔවුන් මහන්සියෙන් උපයන මුදල් ඉතාමත් වේගවත්, ආරක්ෂිත සහ විශ්වසනීය ලෙස මෙරටට එවීමට අවශ්‍ය නවීනතම ඩිජිටල් මූල්‍ය තාක්ෂණය සැපයීමට DFCC බැංකුව නිරන්තරයෙන් කැපවී සිටිනවා” යනුවෙනි. ශ්‍රී ලංකාවට ලැබෙන සමස්ත විදේශ ප්‍රේෂණවලින් වැඩිම ප්‍රතිශතයක් තවමත් මැදපෙරදිග කලාපයෙන් ලැබෙන බැවින්, AlfaNow වැනි ජාත්‍යන්තර ජාල සමඟ එක්වීම දේශසීමා අතර මූල්‍ය හුවමාරු කටයුතු (Cross-border Transactions) තවදුරටත් සරල කරනු ඇත.
















