27 April 2024
#ව්‍යාපාර

DFCC බැංකුව LankaQR සහ VisaQR හරහා ගෙවීම් භාරගැනීමේ පහසුකම තම ගනුදෙනුකරුවන්ට ලබාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ජංගම වෙළඳුන්ට ඩිජිටල් ක්‍රමයට ගෙවීම් භාරගැනීමේ පහසුකම් සැලසීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, Remarko Bakers ආයතනයේ ජංගම අලෙවිසැල් සඳහා LankaQR සහ VisaQR ඔස්සේ ගෙවීම් භාරගැනීමේ පහසුකම් සලසා දී තිබේ.

මෙය පාරිභෝගිකයන්ගේ පහසුව හා ආරක්ෂාව මුල් කරගනිමින්, මුදල් භාවිතය වෙනුවට නවීන තාක්ෂණය ඔස්සේ ඩිජිටල් ක්‍රමයට ගනුදෙනු සිදුකිරීම ප්‍රචලිත කිරීම සඳහා DFCC බැංකුව ගන්නා උත්සාහයේ තවත් එක් අදියරකි.

Covid-19 ව්‍යාප්තිය නිසා අද දවසේ මුදල් භාවිතය අවදානම් සහගත දෙයක් බවට පත්වී තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ ඩිජිටල් ක්‍රම ඔස්සේ ගෙවීම් භාරගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම කොයි කාගේත් ආරක්ෂාවට බෙහෙවින් වැදගත් වන අතර, මුදල් භාවිතයේදී සිදුවන අපහසුතා සහ වියදම්ද මෙමගින් අවම වනු ඇත.

මුදල් භාවිතයට වඩා ඉක්මනින් හා කාර්යක්ෂම ලෙස ඩිජිටල් ක්‍රමයට ගනුදෙනු කළ හැකි වීම, වෙළඳුන්ටත් පාරිභෝගිකයන්ටත් ලැබෙන තවත් වාසියකි. දේශීය බැංකුවක ගිණුමක් හිමි ඕනෑම පාරිභෝගිකයෙකුට, තම බැංකුවේ ජංගම යෙදුම (App) භාවිතා කරමින්, අදාළ QR කේතය ස්කෑන් කිරීම මගින් ඉතාමත් පහසුවෙන් ගෙවීම සම්පූර්ණ කළ හැකි වේ. මෙය ව්‍යාපාර වල ඵලදායීතාව සහ ලාභදායීත්වය වැඩි කරනු ඇති අතර, Covid-19 සම්බන්ධ ආරක්‍ෂක විධිවිධාන අනුව ව්‍යාපාර කටයුතු පවත්වා ගැනීම සඳහා ජාතික මට්ටමින් දරනු ලබන උත්සාහයන්ට සමගාමී වන පියවරක්ද වනු ඇත.

1983 වසරේදී ආරම්භ වූ Remarko Bakers ආයතනය මෙරට බේකරි ක්ෂේත්‍රයේ වසර 40 කට ආසන්න අත්දැකීම් සහිත, අතිශයින් ජනාදරයට පත් ආයතනයක් වන අතර, මේ වනවිට එහි ව්‍යාපාර කටයුතු ගම්පහ, කොළඹ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක වේ. දැනට රටේ පවතින තත්ත්වය හමුවේ, ගෙයින් ගෙට ගොස් තම භාණ්ඩ අලෙවි කිරීම සඳහා ජංගම වෙළඳුන් යෙදවීමට එම ආයතනය මෑතකදී කටයුතු කළේ ය. ඊට අමතරව, Covid-19 සම්බන්ධ මාර්ගෝපදේශ වලට තවදුරටත් අනුකූල වෙමින්, DFCC බැංකුව සමග එක්වී ස්පර්ශයෙන් තොරව ගෙවීම් සිදුකිරීම සඳහා තම පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමට එම ආයතනය මේ වනවිට පියවර ගෙන තිබේ.
“මේ දුෂ්කර කාලසීමාවේදී සුරක්ෂිත හා කාර්යක්ෂම ලෙස ව්‍යාපාර කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම අපගේ ප්‍රධානතම ඉලක්ක අතරින් එකක්. මෙහි නවතම පියවර ලෙස LankaQR සහ VisaQR හරහා ගෙවීම් භාරගැනීමේ පහසුකම් සැලසීමට අප කටයුතු යොදා තිබෙනවා. මේ ඔස්සේ ව්‍යාපාර වලට, දැනට පවතින COVID-19 තත්ත්වය හමුවේ මතුවන ඇතැම් බාධාවන් හා අවදානම් මගහරවා ගනිමින් ව්‍යාපාර කටයුතු සිදුකිරීමට හැකියාව ලැබේවි. මේ ස්පර්ශ-රහිත ගෙවීම් ක්‍රම රටේ ආර්ථික වර්ධනයට උරදෙමින්, ජනතාවගේ මූල්‍ය ශක්තිය වර්ධනය කිරීමට පිටිවහලක් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා පැවසී ය.

තමන්ට කැමති DFCC බැංකු ශාඛාවක ගිණුමක් විවෘත කිරීම මගින් ව්‍යාපාරික මහතුන්ට මෙම පහසුකම ලබාගත හැකි වේ. ඉන්පසුව LankaQR සහ VisaQR හරහා ගෙවීම් භාරගැනීම සඳහා DFCC Pay merchant App භාවිතා කළ හැකි වනු ඇත.

දැනටමත් DFCC බැංකුවේ හෝ වෙනත් දේශීය බැංකුවක ගිණුම් හිමි, හෝ DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමි ගනුදෙනුකරුවන්ට Apple App Store හෝ Google Play Store වෙතින් DFCC Pay merchant App බාගත (Download) කරගෙන මෙම සේවාව ලබාගැනීමේ හැකියාව ඇත. DFCC Pay merchant App මගින් ගනුදෙනුකරුවන්ට LankaQR සහ VisaQR හරහා දේශීය ගෙවීම්ද, VisaQR ඔස්සේ විදේශීය ගෙවීම්ද භාරගත හැකි වේ.

DFCC බැංකුව පිළිබඳව

DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.

 

පිටපත -PR

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *