තමන් විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන දැඩි විවේචන හමුවේ, ‘සර්වජන බලය’ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (21) විශේෂ පැහැදිලි කිරීමක් කරමින් සිය කනස්සල්ල පළ කර සමාව අයැද සිටියේය. අදාළ සිදුවීමට සම්බන්ධ 15 හැවිරිදි බාලවයස්කාර දරුවා ඉලක්ක කර ගනිමින් තමන් එම ප්‍රකාශය සිදු නොකළ බවත්, ඇති වූ වැරදි වැටහීම පිළිබඳව කණගාටු වන බවත් ඔහු සඳහන් කළේය.
අටමස්ථානාධිපති හිමි නමක අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සිදුව ඇත්තේ ලිංගික ශ්‍රමිකයෙකු කළ ප්‍රකාශයක් මත පදනම්ව බවට තමන්ට ලැබුණු තොරතුරක් අනුව දිලුම් අමුණුගම මහතා මීට පෙර මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණි. බාලවයස්කාර දරුවකු සම්බන්ධ නඩුවකදී මෙවැනි වචන භාවිත කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඔහුට දැඩි දෝෂදර්ශනයක් එල්ල විය.
එම විවේචනවලට ප්‍රතිචාර දක්වමින් අමුණුගම මහතා කියා සිටියේ තමන් කළ ප්‍රකාශය විකෘති කර සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය කර ඇති බවයි. තමන් එම අදහස පළ කළේ නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ වෙනත් වෙනම සිදුවීමකට අදාළව තමන්ට ලැබුණු තොරතුරක් මත පදනම්ව මිස, මෙම සිද්ධියට සම්බන්ධ දරුවා ගැන නොවන බව ඔහු පැහැදිලි කළේය. “යම් හෙයකින් එම ප්‍රකාශය නිසා වැරදි වැටහීමක් ඇතිවී, එම දරුවාට, දරුවාගේ පවුලේ අයට හෝ සමාජයේ වෙනත් අයෙකුට සිත් රිදවීමක් සිදුවූයේ නම්, මම ඒ ගැන කණගාටුව පළ කරමින් සමාව අයැද සිටිනවා” යැයි ඔහු පැවසීය. වසර විසි ගණනක සිය දේශපාලන ජීවිතය තුළ කිසිවෙකුට මඩ ගැසීමට හෝ පෞද්ගලික ප්‍රහාර එල්ල කිරීමට තමන් කටයුතු කර නැති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














