ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි යටතේ ආර්ථිකය කළමනාකරණය කළ පමණින් මෙරට ජනතාව මුහුණ දෙන සැබෑ ආදායම් කඩා වැටීම සහ දිළිඳුකමේ අර්බුදය යටපත් කළ නොහැකි බව ‘දිනන දකුණ’ සාමූහිකය පෙන්වා දෙයි.
මෑතකදී නිකුත් කළ ‘Visual Capitalist’ ගෝලීය අවම වැටුප් දර්ශකයට අනුව රටවල් 130ක් අතරින් ශ්‍රී ලංකාව මිලදී ගැනීමේ හැකියාව අතින් 120 වැනි ස්ථානයේ පසුවන බවත්, මෙරට අවම වැටුපේ සැබෑ මිලදී ගැනීමේ හැකියාව මසකට ඇමරිකානු ඩොලර් 200ක් ලෙස සටහන් වන බවත් එම සාමූහිකය සඳහන් කරයි. එපමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ බහුමාන අවදානම් දර්ශක වාර්තාව උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට ජනගහනයෙන් 55.7ක් එනම් මිලියන 12.3කට අධික පිරිසක් අධ්‍යාපනය, සෞඛ්‍ය, ණයගැතිභාවය සහ ජීවන තත්ත්වය ඇතුළු අංශ ඔස්සේ බහුමාන අවදානමකට ලක්ව ඇති බවයි.
රජය මූල්‍ය ස්ථාවරත්වය සහ අයවැය පරතරය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාධනීය කරුණු ඉදිරිපත් කළද, VAT ඇතුළු වක්‍ර බදු ඉහළ දැමීම සහ මහජන වියදම් සීමා කිරීම හරහා අත්කරගෙන ඇති එම ප්‍රගතිය ජනතාවගේ එදිනෙදා ජීවන තත්ත්වය නිරූපණය නොකරන බව ‘දිනන දකුණ’ අවධාරණය කරයි. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මත පනවා ඇති බදු බර ලිහිල් කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සහ ජනතාවගේ ණයගැතිභාවය හා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ඉලක්කගත සහන ලබා දීමට රජය කටයුතු කළ යුතු බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.














