පූනාගල, කබරගල ප්‍රදේශයේ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ වසර 200කට අධික කාලයක් මෙරට ආර්ථිකයට දායක වූ මලෛයගම් ජනතාව මෙම මාතෘභූමියේ පූර්ණ අයිතිය ලැබිය යුතු අපේම සහෝදර ජනතාවක් බවයි. සියවස් දෙකකට වැඩි කාලයක් තමන්ගේම බිම් කොටසක උරුමයක් හෝ ස්ථිර නිවසක් නොමැතිව කොන් කරන ලද මෙම ප්‍රජාවගේ මූලික අවශ්‍යතා සහ මානව හිමිකම් තවදුරටත් නොසලකා හැරිය නොහැකි බවත්, වතුකරයේ ජනතාවගේ ඉඩම් ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා සමාගම් සමඟ පවතින ගිවිසුම් 2042 වන විට අවසන් කිරීමට අවශ්‍ය පසු විපරම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම ජනතාවගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක් සහ සෞඛ්‍ය පහසුකම් තහවුරු කිරීම රජයේ මූලික වගකීමක් වන අතර, අඩු බර දරු උපත් සහ මන්දපෝෂණ තත්ත්වයන්ගෙන් පීඩා විඳින මලෛයගම් ප්‍රජාව එම ඛේදනීය තත්ත්වයෙන් මුදා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මීට අමතරව, මධ්‍යම කඳුකරයේ පරිසර පද්ධතිය සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව විශේෂ පනතක් හරහා ‘මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක්’ පිහිටුවීමට කටයුතු කරන අතර, ඒ හරහා කෘෂිකර්මාන්තය, වන සංරක්ෂණය සහ ජන ප්‍රජාවගේ ගැටලු එකම ආයතනයක් යටතට ගෙන විසඳීමට අපේක්ෂා කෙරේ.
රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයන මලෛයගම් ජනතාව මෙන්ම යුද සමයේ රට හැර ගොස් ඉන්දියාවේ ජීවත් වූ පුරවැසියන්ට යළි මෙරටට පැමිණීමට තිබූ සියලු බාධා ඉවත් කරමින් ඔවුන්ට ද යහපත් ජීවිතයක් උරුම කර දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. අනාගත පරපුර වෙනුවෙන් මධ්‍යම කඳුකරය සහ එහි ජනතාව සුරක්ෂිත කිරීම ජාතික වගකීමක් ලෙස සලකා ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මඟින් මෙරට සමාජ සංවර්ධනයට සහ සංහිඳියාවට නව මානයක් එකතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














