ආබාධ සහිත සිසුන්ට වෛද්‍ය, ඉංජිනේරු සහ කෘෂිකර්ම ඇතුළු ඕනෑම ක්ෂේත්රයකින් උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව උදාකර දී ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කරයි.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කෙරෙන ‘සරසවි දිරියෝ අභිමන්’ වැඩසටහන යටතේ, විශ්වවිද්‍යාල වරම් ලැබූ ආබාධ සහිත සිසුන් සඳහා රුපියල් 100,000ක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබාදීමට පියවර ගෙන ඇත. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම ශිෂ්‍යාධාර ප්රදානය සිදු කෙරිණි.
දැනට මෙම වැඩසටහන මගින් ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් 370 දෙනෙකු ප්රතිලාභ ලබන අතර, ලබන වසරේ සිට විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සියලුම ආබාධ සහිත සිසුන්ට පළමු වසරේ සිටම මෙම මූල්‍ය ආධාරය ලබාදීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මීට පෙර ආබාධ සහිත සිසුන්ට විශ්වවිද්‍යාල ප්රවේශයේදී ඇතැම් පීඨවලට පමණක් සීමා වී තිබූ අවස්ථා පැවතියද, මේ වන විට එම බාධාවන් ඉවත් කර ඔවුන්ට සමාන අවස්ථා ලබා දී ඇත.
ජාතික, ආගමික හෝ කායික වෙනස්කම්වලින් තොරව සියලු පුරවැසියන්ට සමානාත්මතාව සහ සාධාරණත්වය තහවුරු වන සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අරමුණ බවත්, මීට පෙර දේශපාලනඥයන්ගේ අවශ්‍යතා සඳහා වැය කළ ජනාධිපති අරමුදල මේ වන විට ජනතාවගේ අත්‍යවශ්‍ය සුබසාධනය වෙනුවෙන් යොමු කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
















