27 April 2024
#ව්‍යාපාර

DLB අලෙවි නියෝජිතයින්ගේ කොමිස් මුදල් සත 25 වැඩි කෙරේ

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයින් වෙනුවෙන් ලබාදෙන කොමිස් මුදල 2019 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශත 25කින් වැඩි කිරීමට කටයුතු කර ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සහ සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය විසින් පසුගිය කාල වකවානුව තුළ තම කොමිස් මුදල සත විසිපහකින් ඉහළ දමන ලෙස කරන ලද ඉල්ලීම සළකා බලමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කළමනාකාරීත්වය හා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා සමග පැවති සාකච්ජාවකදී පැමිණි එකගත්වයකට අනුව මුදල් අමාත්‍යංශයේ නිර්දේශ මත ජනාධිපතිවරයාගේ අනුමැතිය යටතේ අලෙවි කරන සෑම ලොතරැයිපතක් සදහාම සත විසිපහක අතිරේක කොමිස් මුදලක් ලබාදීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගිය වසර දෙකක කාලය තුළ අලෙවි නියෝජිත හා අලෙවි සහයක ජාලය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරමින් ලොතරැයි කුටි නවීකරණය කිරීම, වටිනාකමින් 50%ක් පමණක් අය කරමින් නව අලෙවි කුටි ලබාදීම, විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහයකයින් සදහා තම ස්වයං රැකියාව දියුණු කර ගැනීම සදහා තුන් රෝද රථ (ට්‍රයිසිකල්) ලබාදීම, සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම උදෙසා වෛද්‍ය සායන පැවැත්වීම, අලෙවි නියෝජිත මහත්මීන්ගේ විශ්ව විද්‍යාල දූදරුවන් සදහා ශිෂ්‍යත්ව ලබාදීම, අසාධ්‍ය රෝගී තත්වයන් වලදී මුල්‍යාධාර ලබාදීම මෙන්ම දිරි දීමනා ගෙවීම් වැනි මෙහෙවරයන් ගණනාවක් සිදුකර ඇත.

පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමගින් පහළ වැටුණු අලෙවිය මේ වන විට ඉහල ගොස් ඇති අතර ඒ වෙනුවෙන් මණ්ඩලයේ ප්‍රණාමය සියලු දිස්ත්‍රික් අලෙවි නියෝජිතයින්ට, අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි සහයකයින් වෙත පුද කරන බව මණ්ඩලය සදහන් කරයි.

මෙම කොමිස් මුදල වැඩි කිරීමත් සමග අලෙවි නියෝජිත ජාලය තම උනන්දුව හා කැපවීම තව තවත් ඉහළ නංවා ගනිමින් අලෙවියෙහි පැහැදිලි වර්ධනයක් ලබා ගනු ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *