දිවයිනේ පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට රට පුරා අර්ධ වශයෙන් හානියට ලක්වූ නිවාස සංඛ්‍යාව 200ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) නිල වශයෙන් නිවේදනය කරයි. එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, නිවාස හානිවීම් අතින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයට වන අතර එහි අර්ධ හානි වූ නිවාස 90ක් වාර්තා වේ. මීට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 22ක්, මඩකලපුවෙන් 25ක්, ගම්පහෙන් 25ක්, ගාල්ලෙන් 14ක්, කොළඹ සහ මන්නාරම දිස්ත්‍රික්කවලින් නිවාස 05 බැගින් ද, මොනරාගල සහ යාපනය දිස්ත්‍රික්කවලින් නිවාස 04 බැගින් ද, අනුරාධපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් නිවාස 02 බැගින් ද ලෙස අර්ධ හානි වාර්තා වී තිබේ. මෙම ව්‍යසනකාරී තත්ත්වය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පූර්ණ වශයෙන් විනාශ වූ එක් (01) නිවාසයක් ද වාර්තා වී ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 66ක් පුරා ව්‍යාප්ත වී ඇති පවුල් 1,582කට අයත් පුද්ගලයන් 5,267 දෙනෙකු මෙම අයහපත් කාලගුණය හේතුවෙන් සෘජුවම පීඩාවට පත්ව ඇති බවයි. පීඩාවට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සහන සේවා සැලසීමට සහ ආපදා තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා රජය මේ වන විට පියවර ගෙන ඇති අතර, පවතින අධික වර්ෂාපතනය සහ සුළං තත්ත්වය හේතුවෙන් අවදානම් කලාපවල ජීවත්වන ජනතාවට නිරන්තරයෙන් විමසිලිමත්ව පසුවන ලෙස ද දන්වා සිටී.














