අධික ලෙස දුම පිටවන වාහන සඳහා නිකුත් කරන නඩත්තු නියෝග පිළිපැදීමට අපොහොසත් වන වාහන අසාධු ලේඛනගත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
නඩත්තු නියෝග නිකුත් කිරීමෙන් පසුව ද අදාළ නඩත්තු කටයුතු සිදු නොකරන සහ පරීක්ෂාවන් මඟහරින වාහන මෙලෙස අසාධු ලේඛනගත කෙරෙන අතර එම වාහනවල ආදායම් බලපත්‍ර ලබාගැනීම සහ අනෙකුත් ලේඛන කටයුතු සිදුකිරීමේදී වාහන හිමිකරුවන්ට දැඩි බාධාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ සහ කටුගස්තොට යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මේ දිනවල විශේෂ වාහන දුම් පරීක්ෂාවන් සහ ජංගම මෙහෙයුම් ක්‍රියාත්මක වේ. වාහනයකින් කළු දුම පිටවීම පරිසරයට සිදුකරන අපරාධයක් බැවින් වහාම වාහන නිසි නඩත්තුවකට යොමු කරන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති. පරිපාලනමය වෙනස්කම් හේතුවෙන් මන්දගාමී වී තිබූ මාර්ගස්ථ දුම් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ මෙම මාසයේ සිට යළිත් දිවයින පුරා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට වාහන වායු විමෝචන භාරකාර අරමුදල තීරණය කර ඇත.














