27 April 2024
#දේශීය

ගුරු විභාගයට ලියන්න පන්ති යන්න එපා – ඇමැති සුසිල්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්මවා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය මගින් බලාපොරොත්තු වන්නේ උගන්වන සියල්ල මතකයේ තබාගෙන ගොස් විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියා එන පිරිසක් බිහි කිරීම නොවන බවත් උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් නොවන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ‘ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන ශූරයෝ -2021’ තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

සරල ගණිත ගැටලුවක් විසඳීම හා සාමාන්‍ය ප්‍රශ්නයකට පිළිතුරු දීම වැනි ක්ෂණික ව සිතා බලා යමක් වටහාගෙන ක්‍රියාත්මක වීමේ නිපුණතා, ගුරුවරුන් ලෙස සේවය කිරීමට බලාපොරොත්තු වන උපාධි අපේක්ෂකයන් තුළ පැවතිය යුතු බවත් නිපුණතාවන්ගෙන් හෙබි දරු පරපුරක් නිර්මාණය කළ හැකි වන්නේ ගුරුවරයකු ලෙස බඳවාගැනීමේ පරීක්ෂණයට පෙනී සිටීමට පවා අමතර පන්තිවල සහය පතන පිරිසක් නොවන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

මෙවන් සිදුවීම් නිසා පුළුල් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක අත්‍යවශ්‍යභාවය මැනවින් තහවුරු වන්නේ යැයි ද හෙතෙම පැවසී ය.

සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් අතරින් ගුරුවරුන් ලෙස බැඳීමට අපේක්ෂා කරන අදාළ වයස් සීමාවේ පසු වන අය වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිත මෙම තෝරාගැනීමේ විභාගය අසීරු තරග විභාගයක් නොවන බවත් එනිසා අනිසි ලෙස අමතර පන්තිවලට සහභාගී වීමකින් තොර ව අපේක්ෂකයන් නියමිත දිනට විභාග ශාලාවට ගොස් ආත්ම ශක්තියෙන් යුතු ව එම පරීක්ෂණයට මුහුණ දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *