27 April 2024
#දේශීය

නාථ දෙවියන්ගේ time table එකට මැතිවරණයට දින දෙන්න එපා – හිටපු ඇමති මංගල

මැතිවරණයට දින නියම කළ යුත්තේ, නාථ දෙවියන්ගේ උපදෙස් අනුව නොව, විශේෂඥයින්ගේ නිර්දේශ මත” බව හිටපු අමාත්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රී  මංගල සමරවීර පවසයි.

අද (19) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

 මැතිවරණ කොමිසම විසින් මහ මැතිවරණය  පවත්වන දිනය තීරණය කළ යුතුව ඇත්තේ විශේෂඥ උපදෙස් අනුව බවත් ඔහු අවධාරණය කර සිටී.

 හිටපු අමාත්‍ය  පාලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර නිකුත් කළ එකී නිවේදනය  පහත දැක්වේ.

හෙට අප්‍රෙල් මාසේ 20 වෙනිදා කොරෝනා වෛරසයට එරෙහි සටනේ ඉතාමත්ම තීරණාත්මක දිනයක්. ජනතාවගේ මළමිනි මතින් මැතිවරණයකට යනවාද නැද්ද කියන එක මැතිවරණ කොමිසම තීන්දු කරන දිනයක්. තවමත් රජයේ සංඛ්‍යා ලේඛන අනුව පවා තහවුරු කරන්නේ කොරෝනා වෛරසය දිනෙන් දිනම ව්‍යාප්ත වන බවයි. 

එපමණක් නොව, නිල නොවන මට්ටමට මෙය ව්‍යාප්ත වන බව යම් අය චෝදනා කරනවා. එසේ තිබියදීත් මළමිනි මතින් හෝ මැතිවරණයක් තියන්නට මේ රජය උත්සාහ කරනවා.

රජයේ උවමනාව අනුව මැතිවරණයක් තියන්නට හදන මේ මොහොතේ, මැතිවරණ සමයේදී කොරෝනා වෛරසයෙන් ඇති විය හැකි සෑම මරණයකටම එවැනි තීන්දුවක් ගතහොත් මැතිවරණ කොමිසම වගකිව යුතු වෙනවා. එම නිසා මැතිවරණයක් තියන්නට පුලුවන් කියන මෙම සටනේ සිටින සියලු ප්‍රධානීන්ද ඒ බව ලිඛිතව මේ රටට සහතික කරන්නට අවශ්‍යයි.  

ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතා, කොවිඩ් 19 සටන් කිරීමේ කමිටුවේ සභාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඇතුලු අනෙකුත් විශේෂඥයන් මෙන්ම  ඒ අයගේ ලිඛිත නිර්දේශ මත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත මැතිවරණ කොමිසම ප්‍රායෝගිකව මැතිවරණයක් තියන්නට හැකි දිනයක් තෝරාගන්නට ඕනේ. රජයේ උවමනාවට හදිසි තීරණ ගන්නේ  නැතුව ඇත්ත වශයෙන්ම මැතිවරණයක් තියන්න පුලුවන් දිනයක තැබිම තමයි මැතිවරණ කොමිසමේ වගකීම.

නාථ දෙවියන්ගේ උපදෙස් අනුව වැඩ කරන මේ රජයේ ටයිම් ටේබල් එකට හදිසි දින නියම නොකර ප්‍රායෝගික ඡන්දදායකයන් සහ ප්‍රායෝගිකව මැතිවරණ රාජකාරියේ යෙදෙන සියලු රජයේ නිලධාරින්ට ජීවිත අවධානමක් නැති දිනයක් මැතිවරණ කොමිසම විසින් නියම කරන්නට ඕනේ. එසේ නොවුනොත් දරාගත නොහැකි මරණ සංඛ්‍යාවකට, සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ආසාදිතයන් සංඛ්‍යාවටකට, ළමයින්ගේ ජීවිත අනතුරේ දැමීමට, යළි ගොඩ එන්නට නොහැකි ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් සිදු වන්නට ඉඩ තිබෙනවා. මෙතෙක් කරපු කැපකිරීම් අපතේ නොයැවිමේ වගකීම මැතිවරණ කොමිසම භාරගත යුතු වෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *