තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර තීරණාත්මක ද්විපාර්ශ්වික සාකච්ඡා බෙයිජිං නුවර පිහිටි ඓතිහාසික ‘ෂොංනන්හායි’ (Zhongnanhai) මන්දිරයේදී අද සාර්ථකව නිම විය. මෙම සංචාරය අතරතුර චීන ජනාධිපතිවරයා විසින් ජනපති ට්‍රම්ප්ව එහි පිහිටි පැරණි උද්භිද උද්‍යානය නැරඹීමට ද රැගෙන ගිය අතර, එහිදී චීන රෝස මල්වලට ඇලුම් කරන ට්‍රම්ප් මහතා වෙත විශේෂ තෑග්ගක් ලෙස රෝස මල් බීජ පිරිනැමීම කාගේත් අවධානයට ලක් වූ සුවිශේෂී සිදුවීමක් විය. දෙරට අතර සබඳතා පිළිබඳව නායකයින් දෙදෙනාම සුබවාදී අදහස් පළ කළ අතර, විශේෂයෙන්ම දෙරටටම වාසිදායක වන “විශිෂ්ට වෙළඳ ගිවිසුම්” රැසකට එළඹීමට හැකි වූ බව ජනපති ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළේය.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡා අතරතුර ජනපති ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් සිය දැඩි විවේචනාත්මක ස්ථාවරය චීන ජනපති ඉදිරියේදීම ප්‍රකාශ කිරීමට පසුබට නොවූ අතර, විශේෂයෙන් චීනයට තෙල් සපයන ඉරාන මාර්ගය පිළිබඳව ඔහු සිය අදහස් දක්වා තිබේ. මේ අතර, ට්‍රම්ප් මහතාගේ මෙම චීන සංචාරය, එහිදී එළඹුණු වෙළඳ ගිවිසුම් සහ ඔහු ලැබූ ත්‍යාග සම්බන්ධයෙන් ඇමරිකාවේ ඩෙමොක්‍රටික් පාක්ෂිකයන් දැඩි විවේචන එල්ල කරමින් සිටින බව ද වාර්තා වේ. එසේ වුවද, මෙම සංචාරය චීන-ඇමරිකානු සබඳතාවල නව සන්ධිස්ථානයක් වනු ඇති බවට විදෙස් මාධ්‍ය අනාවැකි පළ කරයි.














