ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වය ඇතිවීමට ප්‍රධානම හේතුව වන්නේ අපේ සිරුරේ සෛල තුළ පිහිටන 21 වන ක්‍රෝමසෝම යුගලයේ ඇති අමතර ක්‍රෝමසෝමයයි. ජපානයේ Mie විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් ලොව ප්‍රථම වතාවට මෙම අමතර ක්‍රෝමසෝමය සාර්ථකව ඉවත් කිරීමට සමත් වී තිබේ.
මහාචාර්ය Ryotaro Hashizume ගේ මූලිකත්වයෙන් යුත් මෙම කණ්ඩායම CRISPR-Cas9 නම් වූ නවීන ජාන සංස්කරණ (Gene-editing) තාක්ෂණය මෙම අත්හදා බැලීම සඳහා භාවිතා කර ඇත. ඔවුන් අපේ සිරුරේ ඇති අනෙකුත් සාමාන්‍ය ක්‍රෝමසෝම වලට කිසිදු හානියක් නොකර, රෝගයට හේතු වන අදාළ අමතර ක්‍රෝමසෝමය පමණක් ඉතා නිවැරදිව ඉලක්ක කර ඉවත් කිරීමට සමත් වූහ.
මෙම අමතර ක්‍රෝමසෝමය ඉවත් කළ පසු, අදාළ සෛල පෙරට වඩා ඉතා නිරෝගීව ක්‍රියා කිරීමටත්, වේගයෙන් වර්ධනය වීමටත් පටන් ගෙන තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙය ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වයේ මූලික හේතුවටම පිළියම් යෙදීමක් බවයි. කෙසේ වෙතත්, මෙය තවමත් සාර්ථක වී ඇත්තේ පරීක්ෂණාගාරයේ ඇති සෛල මත පමණක් වන අතර, සැබෑ රෝගීන් සඳහා ප්‍රතිකාරයක් ලෙස මෙය ලබා දීමට නම් තවදුරටත් දීර්ඝකාලීන පරීක්ෂණ සිදුකළ යුතුව පවතී.
කෙසේ වෙතත්, මෙය සායනික භාවිතයට පැමිණීමට තව කල් ගත වුවත්, මෙය ජාන වෛද්‍ය විද්‍යාවේ ලොවම මවිත කළ ඉතා වැදගත් ඉදිරි පියවරක් බව විශේෂඥයින්ගේ මතයයි. ලොව වටා සිදුවන මෙවැනි වටිනා තොරතුරු දැනගන්න අප සමඟ රැඳී සිටින්න.















