පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වගාවන්ට සිදුවී ඇති හානි සඳහා ගොවීන්ට වන්දි මුදල් ගෙවීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති අතර, මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල වී, බඩඉරිඟු ඇතුළු බෝග වගාවන්ට දැඩි ලෙස ජල හිඟය බලපා තිබේ. මූලික වාර්තා වලට අනුව දිස්ත්‍රික්ක පහක ගොවීන් 4,707 දෙනෙකුට අයත් වී වගා බිම් අක්කර 6,073ක් පමණ මේ වන විට පීඩාවට පත්ව ඇත.
හානි වූ වගා බිම් පරීක්ෂා කිරීමේ කටයුතු කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් විසින් ආරම්භ කර ඇති අතර, තක්සේරු කටයුතු අවසන් වූ වහාම වන්දි මුදල් මුදා හැරීමට නියමිතය. වී සහ බඩඉරිඟු ඇතුළු නම් කරන ලද බෝග හයකට සිදුවන හානි සඳහා හෙක්ටයාරයකට උපරිම රුපියල් 100,000ක වන්දි මුදලක් හිමිවන අතර, එය අක්කර පහක උපරිම වගා බිම් ප්‍රමාණයකට යටත් වේ. වගා හානි සිදුව ඇති ගොවීන් ප්‍රදේශයේ කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩල ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කරන ලෙස හෝ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල ඇති හානි දැනුම්දීමේ ලේඛනවල ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටී.














